ගුරු පත්වීම් බලාසිටි අයට සුබ පණිවුඩයක්

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසි දෙදහසකට ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකි වන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව පළාත් සභා මගින් ද දහතුන්දහස ඉක්මවූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීම ද උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බව‍යි සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසාසිටියේ, ලබන පෙබරවාරි මස අග වන විට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන්ම මගහරවා ගැනීම තම අපේක්ෂාව වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්