හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් ඉස්ලාමාබාද්හි පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පාකිස්තාන රජය නිවේදනය කර තිබෙනවා.
නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, අධිකරණ නියෝගය නීතිමය රාමුවට අනුකූල නොවන බවත්, වරදකරු වූ සිරකරුවෙකුට ප්‍රතිකාර ලබාදිය යුත්තේ බන්ධනාගාරය තුළ හෝ රජයේ රෝහලක පමණක් බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ 73 හැවිරිදි ඉම්රාන් ඛාන් පැය 48ක් ඇතුළත අඩියාලා බන්ධනාගාරයේ සිට Shifa International Hospital වෙත මාරු කර සැප්තැම්බර් 16 වැනිදා දක්වා ප්‍රතිකාර ලබාදෙන ලෙසයි.
එමෙන්ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට, සතියකට වරක් පවුලේ සාමාජිකයන් හමුවීමට සහ ලන්ඩනයේ සිටින පුතුන් දෙදෙනා සමඟ සතියකට දෙවරක් දුරකථන සංවාද පැවැත්වීමටද අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවලට අනුව, ඉම්රාන් ඛාන් හෘද ස්පන්දන අසාමාන්‍ය වීම, හිසරදය, දැඩි කාංසාව සහ නොසන්සුන්කමෙන් පෙළෙන බව සඳහන් වූ අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ වැඩි සම්බන්ධතාවක් අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, රජය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කරන බවයි.
2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන්ට එරෙහිව පවරා ඇති නඩු දේශපාලනික අරමුණු මත ගොනු කළ ඒවා බව ඔහු සහ ඔහුගේ පක්ෂය වන PTI දිගින් දිගටම පවසනවා.













