spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු රුපියල ගැන වැරදි මතවලට නොරැවටෙන්න – මහබැංකුව ජනතාවගෙන් ඉල්ලයි

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විශාලතම වෙළෙඳ පාර්ශවකරුවායි. වසරකට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 5ක පමණ ආනයන ශ්‍රී ලංකාවට සිදු කරනවා. ශ්‍රී ලංකාවෙන් වසරකට ඩොලර් බිලියනයකට ආසන්න අපනයන ප්‍රමාණයක් ඉන්දියාවට සිදු කරනවා.

ආර්ථික අර්බුදය උත්සන්න වූ පහුගිය කාලේ කාලේ ශ්‍රී ලංකාව විශාල ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. වර්තමානයේත් එම අර්බුදයට ඒ විදිහටම මුහුණ දෙමින් සිටිනවා. මේ අවස්ථාවේදී ඉන්දීය වෙළෙඳ නුදෙනුවලටත් පහරක් වැදුණේ, ඩොලර් නොමැති වීම හේතුවෙන් ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට දැඩි සීමා ඇති වීමත් සමගයි. මේ තත්ත්වය තුල ඉන්දීය – ශ්‍රී ලංකා ආනයන සහ අපනයන ගනුදෙනු සඳහා භාවිතා කළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා. ඉන්දීය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් දෙරට අතර ආනයන අපනයන වෙළෙඳමේදී ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු සිද්ධ කරන්න අවස්ථාව සලසන්න පසුගියදා තීරණය කළේ මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුවයි.

එම ක්‍රියාවලිය සහ එහි ඇති වෙළෙඳ වාසිය මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළා. “2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන් ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙරට අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට, ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීමට කැමති බව ඉන්දියාවේ මුදල් අධිකාරිය වන ඉන්දියානු සංචිත බැංකුව වෙත විවිධ අවස්ථාවන්හිදී සන්නිවේදනය කරන ලදී. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේදී, ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වේ.

විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමටව සිදු කිරීමට පහසුකම් සැලසීම, වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, අමෙරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේදී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීම ඇතුළු බොහෝ ප්‍රයෝජන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. තව ද, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින්, බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම, ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් එක් කරනු ඇත.”

මෙම වෙළෙඳ සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එලි දක්වනු ලැබූ ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මත් සමගයි.හවුල්කාරීත්ව දැක්මෙහි වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා යන විෂය ක්ෂේත්‍රය යටතේ UPI ශ්‍රී ලංකාව තුල සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සටහන්ව තිබුණා. “දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.” මීට අදාල අවබෝධතා ගිවිසුමකට ලංකා පේ සහ NIPL (NPCI International Payments Limited) අතර අත්සන් තැබුණේ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරිපිටදීයි.

Unified Payments Interface (UPI) යනු කේතයක් සත්‍යාපනය කිරීමෙන් ගනුදෙනු කිරීමට පහසුකම් සලසන ඩිජිටල් වේදිකාවක්. ජංගම දුරකතනයකට බා ගත කර ගන්නා යෙදවුමක් මගින් මෙම ගනුදෙනු සිදු කරනු ලබනවා. එහිදී සිදුවන්නේ මුදල් ගෙවන්නාගේ බැංකුවෙන් මුදල් ලබන්නාගේ බැංකුවට අදාල මුදල් අතත්‍ය ලෙස හුවමාරු වීමයි.

ඉන්දියානු රුපියලනේ මෙරට තුල ගනුදෙනු කළ හැකි බවට වැරදි අර්ථකතනයක් ලබා දෙන කටකතා පැතිරුණේ මෙම තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳ ඇති නොදැනුවත්බව පදනම් කරගනිමිනුයි. ඒ අනුව ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මෙරට ජනතාව අතර සංසරණය වන ඇතැම් වැරදි අර්ථකථන, පැහැදිලි කරමින් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර තෝරා ගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබන බව යි. 2022 අගෝස්තු මාසයේදී අලුතින් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළුව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම විදේශ ව්‍යවහාර මුදල් වන්නේ, ඔස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, චීන රෙන්මින්බි, ඩෙනිෂ් ක්‍රෝනර්, යූරෝ, හොංකොං ඩොලර්, ඉන්දියානු රුපියල්, ජපන් යෙන්, නවසීලන්ත ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, ස්ටර්ලිං පවුම්, සිංගප්පූරු ඩොලර්, ස්විඩිෂ් ක්‍රෝනර්, ස්විස් ෆ්‍රෑන්ක්, තායි බාත් සහ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර්. නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

තව ද, එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇති අතර, එය විධිමත් බැංකුකරණ මාධ්‍යය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහය වනු ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙනවා. මහ බැංකුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇති බවයි. “ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ. ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කල හැක්කේ, ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි.’’ මහ බැංකුව සිය නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමග නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?