මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් මේ වනවිට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මෙම අනතුරින් පසු තවමත් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනා සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තව දුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.
ධීවරයින් පස්දෙනෙකු සමඟ දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාව වානිජ්‍ය නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීයි.
මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් එම ධීවරයා ගොඩ බිමට රැගෙන ඒමෙන් පසු කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.
මේ අතර ගාල්ල ධීවර වරායට රැගෙන ආ අදාළ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත යොමුකර තිබෙනවා.
ගොඩබිම සිට නාවික සැතපුම් 20 කට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එම කලාපයවෙළෙඳ නෞකා බහුලව ගමන් ගන්නා ප්‍රදේශයක් බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.
මේ අතර ධීවර යාත්‍රාවේ ගැටුණු බවට විශ්වාස කරන වෙළඳ නෞකාව හඳුනාගැනීම සඳහා තාක්ෂණික වශයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.





