කුලී ගමනක් යන මුවාවෙන් කැඳවාගෙන ගොස් ත්‍රිරෝද රථයේ රියදුරා ඝාතනය කර ඔහු සතුව තිබූ මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකා පලාගිය බව කියන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ කොල්ලකෑ ත්‍රිරෝද රථය ඊයේ (22) දින මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 16ක පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු අධික ලෙස මත්කුඩු භාවිත කිරීමට ඇබ්බැහි වී සිටින අයෙකු බව පොලීසිය පවසනවා.
ඊයේ (22) උදෑසන පුත්තලම පොලිස් වසමේ අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 72ක ත්‍රිරෝද රථ රියදුරෙක්.
ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමඟ පෙරේදා (21) රාත්‍රියේ කුලී ගමනක් යමින් සිටියදී ත්‍රී රෝද රථයේ ගමන්කළ පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



