AFC Banner
Empty Ad
Empty Ad

T20 ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල සායම යළි යළිත් පල්ලෙකැලේ දී සේදෙයි -ODI නායකත්වයේ වෙනසකුත්

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට සූදානම් කර තිබුණ ද, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය පැයක් පමණ ප්‍රමාද කිරීමටයි ක්‍රිකට් සංවිධායකවරුන්ට සිදු වූයේ.

කෙසේවෙතත් වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ කරමින් කාසියේ වාසියේ තීරණය උරගා බැලීම සිදු කෙරුණු අතර; සුපුරුදු පරිදි කාසියේ වාසියේ ජ‍යෙන් පමණක් සෑහීමකට පත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් පළමු ව පිතිකරණයේ වාසියට ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කරනු ලැබුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ Yashasvi Jaiswal සමගින් ශුබ්මන් ගිල්.

පෙර තරගවල සේ ප්‍රවේගකාරී ලකුණු ඉනිමක් පළමු කඩුල්ලට ගොඩනැගීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉන්දියාවට අවසර නම් දුන්නේ නැහැ.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 11ක දී දැවී ගිය අතර, ලකුණු පුවරුව 14ක් ලෙස දැක්වෙන විට ඉන්දීය කණ්ඩායමෙන් මුල් කඩුලු 03ම අහිමි ව ගොස් තිබුණා.

කෙසේවෙතත් ඉන්දීය මැද පෙළ පිතිකරුවන් වරින් වර අසීරුවෙන් ලකුණු ගොඩනගමින් 06 වැනි කඩුල්ල වන විට ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ ආකාරය දක්නට ලැබුණා.

ශුබ්මන් ගිල් සමග එක් වූ රියාන් පරාග් පන්දු 40ක දී මෙම ලකුණු 54ක සබඳතාව ගොඩනැගුණේ ගිල් හට ලකුණු 39ක් සහ පරාග් හට ලකුණු 26ක් ලියා ගනිමින්.

ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ ඊයේ දිනයේ දී වැඩිම ලකුණුලාභියා වූ ශුබ්මන් ගිල් ලකුණු 39ක් අතැතිව සිටියදී ක්‍රීඩාගාරයෙන් ඉවත් කරන්නට දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංගට හැකි වුණා.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 28කට කඩුලු 03ක් ද, වනිඳු හසරංග කඩුලු 02ක් ද බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් රමේෂ් මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහට සහ අසිත ප්‍රනාන්දු නමින් ලියැවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

බැලූ බැල්මට පන්දු 120ක් තුළ ජයග්‍රහණයට ලකුණු 138ක ඉලක්කය පහසු යැයි හැඟුණ ද, ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ රාත්‍රියේ ද වගකීම් විරහිත ව දියාරු පිතිකරණයක් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණා.

සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ කවදත් එකම පැතුම වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට අතිශය සාර්ථක වන්නට ඊයේ නොහැකි වූයේ ඔහු ලකුණු 26ක් ලබා සිටියදී රවී බිෂ්නොයිගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අතර පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගුණු අතර, පැතුම් දැවී යාමෙන් පසුව පිටියට ආ කුසල් ජනිත් පෙරේරා හා එක් වූ මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ද ලකුණු 52ක සබඳතාවක් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් ලබාදීමට සමත් වුණා.

කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතක පෙනි පෙනී පිළිවෙළින් ලකුණු 46කට සහ ලකුණු 43කට දවා ගන්නටයි ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ලේ සිට අවසන් කඩුල්ල දක්වා කඩුලු 06ම ලකුණු 27ක් වැනි අඩු ලකුණු පරාසයක දී ඇඳ වැටෙන අයුරු දක්නට ලැබුණා.

මෙම කඩා වැටීම ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී ලකුණු 21ක් තුළ කඩුලු 07ක් ද, දෙවැනි තරගයේ දී ද ලකුණු 21ක් තුළ කඩුලු 07ක් ද බිඳ වැටෙමින් තරගාවලිය පුරාවට ම මැද පෙළ අඩු ලකුණු පරාසයකින් දැවී යාමේ ක්‍රිකට් ඉතිහාස පිටුව අලුත් කරගන්නටයි සමත් වූයේ.

යළි යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත වූත්, දුර්වල වූත් පිතිකරණ විලාසයේ වේදනාව පල්ලෙකැලේ ක්‍රීඩාගාරයට අවසන් තරගයේ ජයග්‍රහණය හෝ ලබනු ඇතැයි විශ්වාසයෙන් තරගය නැරඹීමට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ දෑස් මානයේ දී දිස් වන අයුරු පෙනෙන්නට වුණා.

අවසන් පන්දු වාරයේ එනම් පන්දු 06ක දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 06ක ඉලක්කයක් හිමි ව තිබූ අතර; එම ලකුණු 06 ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ක්‍රිකට් හැකියාවට නොහැකි වුණේ කණ්ඩායම් දෙකටම සුපිරි පන්දුවාරයක් තීරණය කරමින්.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් ලෙසයි.

ඒ අනුව තරගය සුපිරි පන්දු වාරයකට ගෙන ගිය අතර; සුපිරි පන්දු වාරය තුළ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පිටියට පැමිණියේ කුසල් මෙන්ඩිස් සමගින් කුසල් පෙරේරායි.

කෙසේවෙතත් ඉන්දීය පන්දු බලඇණිය වෙනුවෙන් අති සාර්ථක සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළ වොෂින්ටන් සුන්දර් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු වාරය තුළ දී ලකුණු 02ක් පමණක් ලබා දුන්නා.

අවසන් තරගයේ ද ජයග්‍රහණය තමන් සතු කරගන්නට ඉන්දීය කණ්ඩායමේ නායක සූර්‍යයකුමාර් යාදව් සමගින් ශුබ්මන් ගිල් පිටියට පැමිණියා.

ඒ පන්දු 06ක් තුළ ලකුණු 03ක් ලබා ගැනීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම මහීෂ් තීක්ෂණට පැවරුණු අතර තීක්ෂණගේ පළමු පන්දුවට ම දැවැන්ත හතරේ පහරක් එල්ල කිරීමට නායක සූර්‍යකුමාර් යාදව්ට හැකි වුණා.

තරගයේ වීරයා සම්මානය වොෂින්ටන් සුන්දර් විසින් දිනා ගනු ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ නායක සූර්‍යකුමාර් යාදව් හටයි.

ඒ අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 03කින් සමන්විත පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ යම් තාක් දුරකට හෝ ඉතිරි ව තිබූ ක්‍රිකට් නම්බුව ද පල්ලෙකැලේ දී ඊයේ සෝදා හරින්නට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ජාත්‍යන්තර T20 තරග 31ක් පවත්වා ඇති අතර එම තරග 31න් තරග 21කම ජය හිමි ව ඇත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමටයි.

තරග 09ක් පමණක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මේ අතර දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන අගෝස්තු මස 02 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

එක්දින තරගාවලියේ නායකත්වය මීට පෙර චරිත් අසලංක වෙත පැවරී තිබුණු අතර; එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යළිත් වෙනස් කර තිබෙනවා.

ඒ ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වයට යළිත් කුසල් මෙන්ඩිස් පත් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
10
+1
1
+1
1
+1
2
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28

?