26 වන ASEAN කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුව පසුගිය ජනවාරි 23 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී නිල වශයෙන් ආරම්භ වුණා.
ඊයේ (25) දිනය දක්වා පැවති මෙම සමුළුවේ දී ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්රයේ අධ්‍යාපනය ලබාදෙන කලාපීය මූලික ආයතනවල දිශානතිය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට කැප වූ සාධනීය ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කරනු ලැබුවා.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මෙවර සමුළුවේ පූර්ණ සත්කාරකත්වය දැක්වා තිබෙනවා.
කලාපීය වශයෙන් අතිශය වැදගත් මෙම සමුළුව සඳහා ASEAN කලාපීය රටවල ආරක්ෂක අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන්, පීඨාධිපතිවරුන් සහ අධ්යක්ෂවරුන් ඇතුළුව ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන ගණනාවක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වුණා.
ලොව පුරා ආරක්ෂක අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව සහ අන්‍යොන්‍ය අධ්‍යයනය පෝෂණය කිරීම අරමුණු කරගත් ප්‍රධාන සැසි වාර 03 කින් සමන්විත වූ මෙවර සමුළුවට සහභාගි වූ රටවල නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුණා.
අතිශය සංකීර්ණ ගෝලීය ආරක්ෂක පරිසරයක් තුළ ආරක්ෂක අධ්‍යාපන පද්ධති මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් පිළිබිඹු කරමින් මෙවර සමුළුව “Defence Education in an Era of Transition” යන ප්‍රධාන තේමාවෙන් සමන්විත වූ අතර “Influence of Critical Technologies on Defence Leadership”, “Responding to Climate Change and Systemic Risks” සහ “Achieving Energy Security through an Integrated Response to Energy Transitions” යන උප තේමාවන් ඔස්සේ ඔවුන් සිදුකල පර්යේෂණ සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යොන්‍ය අවබෝධය සහ යෝජනා සංවර්ධනය කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ අත්දැකීම් හා දැනුම ද හුවමාරු කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මකයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පළමු දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ප්‍රධාන ආංශික ආයතනයක් නියෝජනය කරන බැවින් ASEAN සංවිධානයේ මෙම වැදගත් යාන්ත්රණයට ප්‍රවේශ වීමේ වැදගත්කම ඉස්මතු කරමින් සිය ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා.
එහිදී ASEAN දේශපාලන ආරක්ෂක කවුන්සිලයේ විෂය පථය යටතේ ආරක්ෂක අධ්‍යාපනයේ සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර සිටියා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගි වුණා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්-ආරක්ෂක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියා කලාප භාර අධ්යක්ෂ ජනරාල්, ගුවන් හමුදාපති, පොලිස්පති ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.
මෙවර සමුළුවේ සභාපති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර සහ සමුළුවේ සම-සභාපති කාම්බෝජ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප ප්‍රධානී ලුතිනන් ජෙනරල් Mony Var විසින් සමාරම්භක අවස්ථාවට පැමිණි විශේෂ ආරාධිතයින් පිළිගත්තා.
එහි පළමු සැසි වාරයේ දී ආරක්ෂක නායකත්වය කෙරෙහි නූතන තාක්ෂණයේ තීරණාත්මක බලපෑම යන තේමාව යටතේ විවේචනාත්මක විග්‍රහයක් සිදුකරනු ලැබුවා.
සමුළුවේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු. විජිත හේරත් මැතිතුමා සහභාගි වුණා.
ගෝලීය ආරක්ෂක යාන්ත්‍රණය තුළ ඇති පද්ධතිමය අවදානම් සහ එම ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම, බලශක්ති ප්රභවයන්ගේ විචල්‍යතාව සහ ගෝලීය වශයෙන් තිරසාර සහ වඩා ආරක්ෂිත බලශක්ති උපාය මාර්ග සහතික කිරීමේදී තීරණාත්මක සාධකයක් ලෙස එහි බලපෑම පිළිබඳ ගවේෂණාත්මකව සාකච්ඡාවක් දෙවන දින සැසිවාරයේ සිදු කළා.
කලාපීය ආරක්ෂක අධ්‍යයන ආයතන අතර ගැඹුරු සබඳතා සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් ද මෙම සමුළුවේදී සිදු කෙරුණා.
අදහස් හා යෝජනා මෙන්ම වඩාත් උචිත හා ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම තුළින්, නැගී එන ආරක්ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඔවුන්ගේ සාමූහික හැකියාව වැඩි දියුණු කිරීම මෙම සාකච්ඡා වලට සහභාගී වූ පාර්ශ්වකරුවන්ගේ අරමුණු වුණා.
මෙවර සමුළුව සඳහා සහභාගී වූ මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, රුසියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් වල නියෝජිතයන් සාමූහිකත්වය හා වඩාත් ඵලදායී ප්‍රතිඵල ලඟා කර ගැනීමට ඇති කැපවීම පිළිබිඹු කරමින් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව හා උද්යෝගයෙන් සම්බන්ධ වී සිටියා.
විවිධ ජන කොට්ඨාශයන්ට අයත් ජාතීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය, ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්රය තුළ අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමට සංවිධානයේ කැපවීම පෙන්නුම් කරනවා.
දෙවන දින සමාරම්භක උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතරට ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් තානාපති කාර්යාලවල මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ කොන්සියුලර් ජනරාල්වරුන් මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.
සාම්ප්‍රදායික කෙටි සමාප්ති උත්සවයකින් සමුළුව සාර්ථකව අවසන් වුණා.
අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් එළඹෙන 27 වන ASEAN කලාපීය රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ සභාපති වන, කාම්බෝජ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප ප්‍රධානී ලුතිනන් ජෙනරල් Mony Var වෙත සංසදයේ සභාපතිත්වය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
ලුතිනන් ජෙනරාල් Mony Var, කලාපීය සහයෝගීතාවයේ සහ ආරක්ෂක අධ්‍යාපන ක්ෂේත්රයේ ශක්තිමත් කිරීමේ හවුල් ඉලක්කවල අඛණ්ඩතාව අවධාරණය කරමින් මීළඟ සමුළුව සඳහා වූ ඉදිරි දැක්ම ඉස්මතු කරමින් සිය අදහස් දක්වා සිටියා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරල් චින්තක වික්‍රමසිංහ විසින් මෙම සමුළුවේ සාර්ථකත්වය සඳහා කැප වූ සියලුම පාර්ශ්වකරුවන්, සංවිධායකයින් සහ සහායක ආයතන හා පිරිස වෙත කෘතඥතාවය පළ කරමින් ස්තුතිය පළ කළා.
26 වන ASEAN කලාපීය රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල/විද්‍යාල/අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේදී කලාපීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම නැවතත් තහවුරු කරනු ලැබුවා.
ගෝලීය වශයෙන් සියලු රටවල් සංකීර්ණ ආරක්ෂක ගතිකත්වයන් සමඟ තරඟකාරී පසුබිමක පවතින අවස්ථාවක, මෙම කලාපීය සංසදයේ මුලපිරීම ගෝලීය සාමය සහ ස්ථාවරත්වයට දායක වෙමින් අන්‍යොන්‍ය අවබෝධය සහ සාමකාමී ගැටුම් නිරාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරනවා.
ශීඝ්‍රයෙන් පරිණාමය වන ලෝකයක අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්ෂක අධ්‍යාපනය සහ භාවිතයන් අනුගත කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.