මාධවී වත්සලා ඇන්තනී පියා වෙනුවෙන් තම ෆේස්බුක් ගිණුමෙහි තැබූ සංවේදී සටහනක් වෙත අපේ අවධානය යොමු වුණා.එය මෙසේයි..
හිනාවෙන්නෙ කොහොමද අප්පච්චි එනකන් මං එහෙම?
මල්ලිලාටත් එහෙමයි…
මගෙ ලෝකෙම කඩන් වැටෙද්දිත් මං ගණන් ගත්තෙ නෑ.
මං ආඩම්බරයිලු චූටි කාලෙත් අම්මගෙ යාලුවො මට විහිලු කරද්දි මම කිව්වලු,
“දන්නවද මගෙ අප්පච්චි කව්ද කියලා? මම ජැක්සන් ඇන්තනීගෙ දුව!”
ඒ මගෙ ආරක්ෂාව. මගෙ සුරේ. මගෙ ශාන්තිකර්මය. මගෙ හයිය!
“මං පුතාට ඉන්නවා” කියන්න කෙනෙක් හිටපු නිසා.
හිත රිදුනම හදන්නත්, මේ වයසෙදිත් ලෙඩ වුනාම මං එක්ක ඉස්පිරිතාල යන්නත්, රට ගියාම අප්පච්චි ට කිසිවක් නොගෙන සූට්කේස් පිරෙන්න අපිට තෑගි ගේන්නත්, බඩගිනි නැතුවත් ආසාවට “කචඩ” ගෙනත් දෙන්නත්…
ඉස්සර ඉඳලා අප්පච්චි ගෙදර එද්දි අපි දුවනවා ඉස්සරහට
“මොනා ගෙනා.. මොනා ගෙනා??” කියාගෙන
යෝගට්, ලොකු කිසස්, උඳු වඩේ, තල ගුලි, බූන්දි, පුහුල් දෝසි…
මං “කෑමදාස” අප්පච්චිගෙ.
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” මට කියලා කෑම හදාගන්න ආසයි නේද?
අනික් අය යාලුවො එක්ක එළියේ “සෙට් වෙද්දි” අප්පච්චි ආස ගෙදර අපි එක්ක සෙට් වෙන්න. කන්න බොන්න සිංදු කියන්න දරු හුරතල් බලන්න.
ඔව් මම අවුරුදු 20 ඉඳන් මෝඩ වැඩ කරද්දිත්, හීනෙන්වත් නොකරපු වැරදි කළා කියල යාලුවො එක්ක ජෝඩු කරලා ඉරිසියාකාර අවලම් මිනිස්සු එයාටත් එක්ක පද හදද්දිත්, මම කටුසු කරේ රත්තරං බඳිද්දිත්,
මාව බදාගෙන “වාතෙ!” කිව්වෙ ආදරේ නිසා බව දන්නවා.
අපිව ගෙන්නගෙන සිංදු කියවගත්තෙ මුළු අයිසීයූ එකටම ඇහෙන්න ආඩම්බරෙන් නයි අරින්නත් එක්ක බව අපි දන්නවා..
“හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ” මං ආසම ඒ කෑල්ලට” විසි පාරකට වඩා කියන්න කිව්වා
“අපි තමයි අපිව දන්නේ!”
“දුවට එන්න කියන්න” අන්තිමටත් එහෙම කිව්වෙ ඇයි කියලා මම දන්නවා…
අද මං ඉන්නෙ අඳුරේ ලොකු බයක!
නැගිටින්නකො අප්පච්චි මට පාලුයි…
මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ පසුවන ජැක්සන් ඇන්තනි කලාකරුවාට ඉක්මන් සුව පතමු..දීර්ඝායුෂ !