අවසානයේ වොෂින්ටනය පදනම් කරගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) නම් ණයදෙන්නා, සිය ණයහිමියන් සමඟ සාකච්ඡා පවත්වා කඩිනමින් ප්‍රතිඵල පෙන්වීම මත ණය වැඩසටහනක් ආරම්භ කිරීමේ ශ්‍රී ලංකා රජයෙහි සැලසුම් පිළිගනු ලැබුවා. ඒ අනුව මූල්‍ය අරමුදල වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට දරන ප්‍රයත්නයන් සඳහා, ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට සහතික වී ඇති අතර, මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ නියෝජිත පිරිස සමඟ පැවති මූලික සාකච්ඡා “ඵලදායක” ලෙස අවසන් වූ බව පසුගිය සතිඅන්තයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දා සිට මේ දක්වා උද්ගතවූ, පෙර නොවූ විරූ දරුණුතම ආර්ථික කැළඹීමකට මේ මොහොතේ මුහුණ දෙමින් සිටිනවා. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ විදේශ මුදල් හිඟකම වන අතර, එයින් අදහස් කරන්නේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් ගෙවීමට රටට නොහැකිවීමයි. එය මේ වන විට රට තුළ උග්‍ර හිඟයකට සහ ඉතා ඉහළ උද්ධමනයකට මග පාදා තිබෙනවා. පසුගිය අපේ‍්‍රල් 12 වැනිදා ශ‍්‍රී ලංකාව සිය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිය විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන ලද්දේ මෙවැනි පසුබිමකයි.
කොවිඩ් වසංගතය සහ යුක්‍රේනයේ යුද්ධය හේතුවෙන් උද්ගතව ඇති අර්බුදය හමුවේ සිය විදේශ ණය හිමියන්ට සිදුකළ යුතු ගෙවීම් කිරීමට නොහැකි හෙයින් ඩොලර් බිලියන 35.5 ක විදේශ ණය තාවකාලිකව පැහැර හරින බව ශ්‍රී ලංකා රජය එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. මෙම පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදය හේතුවෙන් මතුව ඇති ආහාර හිඟය, ඉන්ධන මිල ඉහළ යෑම සහ විශාල විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය විරෝධී මහජන විරෝධතා රැසකට මුහුණ දී සිටිනවා.
මේ නිසාම ජනාධිපතිවරයාට සිය කැබිනට් මණ්ඩලය නව මුහුණු පෙළකට හුවමාරු කිරීමට සිදුවූ අතර, එම නව ඇමැති මණ්ඩලයද දැන්, ආණ්ඩුවේම කොටස්වල බරපතල විරෝධතා හේතුවෙන් දැන් යළි අලුත් කිරීමේ අවදානමකට මුහුණදී සිටිනවා. මෙහි ඇති විශේෂිතම කරුණක් වන්නේ ජිවන අරගලය පරාජයවූ ශ්‍රී ලාංකික සරණාගතයන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් ඉන්දියාවට ඇතුළු වෙමින් සිටීමයි.
වසර එකහමාරක පමණ ප්‍රතික්ෂේප කිරිමකින් අනතුරුව රජය අවසානයේ IMF වෙත යෑමට තීරණය කරන ලද්දේ මෙවැනි පසුබිමකයි. ඒද යන එන මං නැතිවීමෙන් අනතුරුවයි. කෙසේවෙතත් පවතින උග්‍ර මුල්‍ය අර්බුදයෙන් ගොඩඒම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකාව ගිය එම ගමන දැන් වෙනත් අතකට හැරෙමින් තිබෙනවා.
වොෂිංටනයට ගිය මුදල් ඇමැති අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස IMF සමග පැවැත්වූ සාකච්ඡා අවසන් කර මෙතෙක් සියරට පැමිණ නැති නමුත්, මේ වන විටම කතාව වෙනස් වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව IMF සමග ණය වැඩසටහනකට යනවාද? නැද්ද? යනුවෙන් වෙනමම ආකාරයකටයි. ඊට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට ක්‍රියාත්මක තීරණාත්මක ණය වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා චීනය විසින් ප්‍රසිද්ධියේම ‘කකුළෙන් ඇදීමේ’ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය.
චීනය තමන්ගේ මෙම සූක්ෂම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද්දේ අද ඊයේ නොවෙයි. චීනය එය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාව තුළ උපායමාර්ගික වාසියක් ලබා ගැනීමට පමණක් නොව, එහි ආර්ථිකය ප්‍රාණ ඇපයට තබා ගැනීමද ඉලක්ක කරගෙනය. 2009 දී අවසන් වූ ලේ වැකි සිවිල් යුද්ධයේ දී පවා චීන හස්තය ශ්‍රී ලංකාවේ දර්ශනය වුණා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඉන්දියාව අභිබවා යාමට අවස්ථාවක් ලෙස චීනය දුටුවා. ශ්‍රී ලංකා රජයට ආයුධ සැපයීම, දිගුකාලීන ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කිරීම සහ සිවිල් යුද්ධයේදී නිෂේධ බලය භාවිත කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම එවකට චීනය සිදුකරනු ලැබුවා.
චීනය මේ වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 50කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ වී සිටින අතර, ඒවායේ ස්වභාවය සහ ක්‍රියාත්මක කිරීම ඇතැම් විට භයානක ස්වරූපයන් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අතුරින් හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය විශේෂ වන අතර, මේ ව්‍යාපෘති දෙකම චීනයට වසර 99ක බදු පදනම මත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවට චීන ආර්ථික සහාය කිසිවිටෙක වෙළඳ හා ආර්ථික පරමාර්ථ වෙනුවෙන් පමණක් ලැබුණේ නැහැ. එය සෑම විටම ඉන්දියාවට එරෙහිව දේශපාලනික හා ආරක්ෂක උත්තේජනයක් ලබා ගැනීමට සහ චීනයේ බලශක්ති ව්‍යාපාරයේ වැඩි කොටසක් සිදු වන ඉන්දියානු සාගර සීමාව කෙරෙහි එහි උනන්දුව ආරක්ෂා කර ගැනීමට මාධ්‍යයක් වුණා.
චීනය දැන් ශ්‍රී ලංකාවට දෙවන විශාලතම ණය දෙන්නායි. 2019 වන විට, චීනය ශ්‍රී ලංකාවේ හිඟ විදේශ ණයවලින් සියයට 10 කට වඩා වැඩි ප්‍රමාණයක් රඳවාගෙන සිටියා. මේ වනවිට එය සියයට 12 සීමාව ඉක්මවා තිබෙනවා. කෙසේවෙතත් එය තත්ත්වය පිළිබඳ නිවැරදි චිත්‍රයක් නොවෙයි. බොහෝ චීන ණය පොතෙන් බැහැරය. මේවා වාණිජ ණය වන අතර, මහජන තොරතුරු සඳහා ලබා ගත හැකි රජයේ වාර්තාවල ඒවා සටහන් වන්නේ නැහැ. 2010 සහ 2020 අතර චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා බවට පත් වූ අතර, ප්‍රයෝජනවත් භූගෝලීය පිහිටීමක් තිබියදීත්, ශ්‍රී ලංකා භාණ්ඩ විශාලතම ආනයනකරුගේ ස්ථානයේ සිටි ඉන්දියාව දෙවන තැනට ඇද දැමීමට උපක්‍රමිකව සමත්වුණා. ආරම්භයේදී ඉන්දියාවේ සියයට 20කට ආසන්න ආනයනයට සාපේක්ෂව චීන ආනයනය සියයට 8ක පමණක් පරිමාවකින් පැවතුණා. එසේම 2005 දී ශ්‍රී ලංකාවේ නිල සංවර්ධන ආධාරවල චීනයේ කොටස පැවතියේ සියයට 01ක් වශයෙනි. එහෙත් අද එය ඉන්දියාව සහ ජපානය අභිබවා ගොස් සියයට 23 දක්වා ළඟා වී තිබෙනවා.
ණය සම්බන්ධයෙන් ගත්කළ, චීනයේ අනෙක් උපක්‍රමය වූයේ කොන්දේසි අවමව ශ්‍රී ලංකාවට ණය ලබාදීමය. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, චීන ණය උගුලේ පැටලුණු බොහෝ රටවල් සම්බන්ධයෙන් චීනය අනුගමනය කළ උපක්‍රමයයි. එමනිසා සිය ණය නිශ්චිත ව්‍යාපෘතියකට හෝ කාර්යභාරයකට යෙදවෙනු වෙනුවට අදාළ රටේ වෙනත් ඕනෑම කටයුත්තකට යෙදවීම පිළිබඳව චීනය පසුවූයේ නෑසූ කන්වය. පසුව ශ්‍රී ලංකා රජය විසින් එම අධික පොළී ණය වැයකරන ලද්දේ රටේ ගෙවුම් ශේෂ අර්බුදය අවම කිරීම සඳහාය. එහෙත් එවැනි කිසිදු ක්‍රියාවකදී චීනය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.
චීන ණය ආකෘතිය සරලය. එය දුෂ්කර ආර්ථිකයන් සහිත රටවල් හඳුනා ගනී. ආධාර ලෙස නොව වාණිජ ණය ලෙස මුදල් ලබා දෙයි. ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත්තු චීන සමාගම්වලට ලබාගනී. ණය වෙනුවෙන් වන ඇපකර මුදල් අක්වෙරළ බැංකුවක තැන්පත් කෙරේ(අඩු නියාමනය සහ විනිවිදභාවය හේතුවෙන්, ප්‍රකාශ නොකළ ආදායම සැඟවීමට අක්වෙරළ බැංකු සමඟ ගිණුම් බොහෝ විට භාවිත කෙරෙයි).
චීනය ව්‍යාපෘති විසින් පාලනය කරනු ලබන අතර පොළී නොගෙවන්නේ නම් හෝ ණය ආපසු නොගෙවන්නේ නම්, චීනයට නිශ්චල දේපල හිමිවෙනවා. ණය ප්‍රදානයේ ස්වභාවයේ පවතින මෙම වෙනස, චීන ‘ණය උගුලේ ගැඹුර’ තුළට ශ්‍රී ලංකාව තල්ලු කිරීමට ඉඩ හරිනු ලැබුවා. එසේම මෙම උපක්‍රම හරහා චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ උතුරු දූපත් හරහා ඉන්දියාවට සමීප වීමට සහ ඉන්දියානු සාගර කලාපයේ නවදිල්ලියට බලපෑම් කළහැකි ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. කෙසේවෙතත් මෑතකදී අවසන් කර ඇති සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිවලින් සමහරක් අවලංගු කර, ඒවා ඉන්දියාවට ලබා දීමට ශ්‍රී ලංකා පාලක පක්ෂයේ දේශපාලකයන් තුළ යම් හැඟීමක් ඇති වී තිබෙනවා.
නැවතත් IMF ණය වැඩසටහන සහ ඊට පවතින චීන බලපෑම පිළිබඳව අවධානය යොමු කළහොත්, චීනයට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවට කඩිනමින් තවත් ඩොලර් බිලියන 2ක පමණ ණය මුදලක් ලබාදී මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක සාකච්ඡා කඩාකප්පල් කර ශ්‍රී ලංකාව තවදුරටත් තමන් වෙත බැඳ තබාගැනීමයි. අනෙක් අතට IMF සමග පවත්වන සාකච්ඡා කඩාකප්පල් කළහොත් දැනට ඉන්දියාව සමග ශ්‍රී ලංකාවට පවතින සමීප සබඳතා බිඳදැමීමට හැකියාව පවතින බව චීනයේ අදහස වී තිබේ.
ඒ අනුව චීනය සිදුකරමින් සිටින්නේ IMF වෙතින් ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබාගත නොහැකි පරිසරයක් සකස් කරමින් සිටීමයි. විශේෂත්වය වන්නේ චීනය මෙවර සිය සැලසුම ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක කිරීමයි. එම සැලසුම පසුගිය සතියේ මෙරට චීන තානාපතිවරයා විසින් අනාවරණය කරනු ලැබුවා. තමන් සමග සමීපව කටයුතු කරන ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් කැඳවා සිදුකළ සාකච්ඡාවකදී තානාපති ක්වී ෂේන්ග්හොන්ග් ප්‍රකාශ කරන ලද්දේ IMF සමඟ ශ්‍රී ලංකාව සිදුකරමින් සිටින සාකච්ඡා, එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් චීනය සමඟ කරන සිදුකරන සාකච්ඡාවලට බාධාවිය හැකි බවයි.
එසේම මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවනු ලබන කොන්දේසි දැනගැනීම සඳහා IMF සමග පැවැත්වෙන සාකච්ඡා සමීපව නිරීක්ෂණය කරන බවද තානාපතිවරයා සඳහන් කරනු ලැබීය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ණය පහසුකමක් ලබාදීමේදී, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රධාන කොන්දේසියක් ලෙස සඳහන් කර තිබෙනවා. තානාපතිවරයා සඳහන් කර ඇත්තේ එලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනය කෙරෙහි බලපෑමක් ඇති කරන බවය. සිය ප්‍රධානම ණය හිමියන් වෙතින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය පහසුකමක්(RFI) ලබාදීමට නොහැකි බව මුල්‍ය අරමුදල මේ වන විට මෙරටට දැනුම්දී තිබෙනවා.
හදිසි මුල්‍ය පහසුකමක්(RFI) යනු, හදිසි ගෙවීම් ශේෂ අවශ්‍යතාවන්ට මුහුණ දෙන සිය සාමාජික රටවලට IMF විසින් ලබාදෙනු ලබන ණය මුදලකි. සාමාජික රටවල විවිධ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් IMFහි මූල්‍ය ආධාර වඩාත් නම්‍යශීලී කිරීම සඳහා සිදුකර ඇති පුළුල් ප්‍රතිසංස්කරණයක කොටසක් ලෙස RFI නිර්මාණය කර තිබෙනවා. ස්වාභාවික විපත්, ගැටුම් හා පශ්චාත්-ගැටුම් තත්ත්වයන් සහ පුළුල් පරාසයක හදිසි අවශ්‍යතා සපුරාලීමට එය සහායවෙනවා. එමනිසා ශ්‍රී ලංකාව පළමුවෙන් සිදුකළ යුත්තේ ඉන්දියාව සහ චීනය ඇතුළු මෙරට ප්‍රධානම ණය හිමියන් සමග සාකච්ඡා කර අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමය. එහෙත් චීනය තමන් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කැමැත්ත දක්වන්නේ නැහැ.
ඒ අනුව සිය ප්‍රධාන ණය වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනතුරු,සිය හදිසි මූල්‍ය අර්බුද විසඳාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට IMF වෙතින් ලබාගත හැකිව තිබූ හදිසි මුල්‍ය පහසුකම(RFI) අහිමිවී තිබෙනවා. එමනිසාම සිය ණය වැඩසටහන ආරම්භ කිරීම සඳහා තවත් මාස 06ක පමණ කාලයක් ගතවනු ඇතැයිද IMF විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.
මේ අනුව පැහැදිලිවම පෙනීයන්නේ එක අතකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම සිය ග්‍රහණයට ගනිමින්, අනාගතයේ රටේ බිහිවන සෑම ආණ්ඩුවක්ම සිය පාලනයට නතුකරගැනීමේ ක්‍රියාදාමයක දැන් එළිපිටම චීනය නිරතව සිටින බවය. එහිදී ශ්‍රී ලංකාවට මෙම අත්‍යවශ්‍ය මොහොතේ උපකාරයට පැමිණ සිටින ඉන්දියාව සහ IMF ඇතුළු වෙනත් සමීප පාර්ශව සියල්ලම රට කෙරෙහි බිඳවීමද වර්තමාන චීන ව්‍යාපෘතියේ අනෙක් කොටස වී තිබෙනවා.