AFC Banner
Empty Ad
Empty Ad

අලුත්ම ප්‍රහාරය හේතුවෙන් චීනය යළි අගුලු තද කරයි

චීනයේ වුහාන් නගරයෙන් කොවිඩ්-19 වෛරසය ආරම්භ වී වසර දෙකකට පසු එය එරට පළාත් ගණනාවකට නැවත වටයකින් තදින් පහරදීම ආරම්භ කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස, චීනය සුපුරුදු දැඩි මර්දන ක්‍රියාමාර්ගයන් වෙත අවතීර්ණ වෙමින් ඇති අතර ක්ෂණිකවම ෂැංහයි,ජිලින්,ෂෙන්සෙන් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක් විවිධාකාරයෙන් අගුලු දැමීමට කටයුතු කර තිබෙනවා. එරට වාර්තා සදහන් කරන්නේ අවම වශයෙන් පළාත් 20 පමණ මෙම හිරිහැර විදගන්නට සිදුව ඇති බවයි.

චීනයේ නැගී එන නව කොරෝනා රැල්ලට හේතු වූයේ වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදයයි. මෑත කාලීනව චීනයේ දේශීයව සම්ප්‍රේෂණය වන ආසාදනවල වැඩිවීමක් පෙන්නුම් කළා. එයින් සියයට 50 ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ අවස්ථාවන් බව පැවසෙනවා. ඇතැම් චීන මහජන සෞඛ්‍ය විශේෂඥයින් මෙය වුහාන්හි මුල් වසංගතයෙන් පසු නවතම පුනරුත්ථාපනය නැතිනම් “දැඩිම ප්‍රහාරය” ලෙස හඳුන්වනවා. ඇතැම් විශේෂඥයන් මෙය හඳුන්වන්නේ වෛරසය ආරම්භ වීමෙන් පසු ඇති වූ සුනාමියක් ලෙසයි.

වුහාන්හි මුල් අවස්ථාවට සමානවම ජිලින් නගරය සම්පූර්ණයෙන් වසා දමනු ලැබ තිබෙනවා. සියල්ල වසා දැමූ ජිලින් දැන් දිස්වන්නේ අවතාර නගරයක් ලෙසින්. එය වසා දමනු ලැබුවේ මිලියන 24 ක ජනගහණයක් නිවෙස්වලට සීමා කරමින්. වුහාන් හි හුබෙයි අගුලු දැමීමෙන් පසු චීනයේ මුළු පළාතක් සම්පූර්ණයෙන් වසා දැමුණු පළමු අවස්ථාව මෙයයි.පසුගිය ඉරිදා වන විට චීනය පුරා නව ආසාදන 4,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර තුනෙන් දෙකක් වාර්තා වූයේ ජිලින්වලින්. වසරකට වැඩි කාලයකට පසු චීනයේ පළමු කොවිඩ්-19 මරණ දෙක පසුගිය සතියේ වාර්තා වූයේ ද මෙම පළාතෙන්.ඒ සමඟ වසංගතය ආරම්භයේ සිට රටේ කොවිඩ්-19 වෛරස මරණ සංඛ්‍යාව 4,638 දක්වා ඉහළ ගොස් තිබෙනවා.වෛරසය ආරම්භ වීමත් සමඟ ජිලින් පළාතේ වැසියන්ට එහා මෙහා යාම තහනම් කෙරුණු අතර පළාත හැර යාම සඳහා පොලිසියෙන් අවසර ගැනීම අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වසා දමා ගමනාගමනය ද නවතා දමා තිබෙනවා. සෑම දෙනාටම පාහේ දැනුම් දී ඇත්තේ නිවෙස්වල සිට වැඩ කරන ලෙසයි.

ෂැංහයි හි මූල්‍ය කේන්ද්‍රස්ථානය සහ ෂැන්ඩොංහි කිංඩාඕ වරාය නගරය ද බරපතල ලෙස වෛරසය සමඟ පොරබදමින් සිටින ප්‍රදේශයක්. ෂැංහයිහි උද්‍යාන 157 ක් වසා දමා ඇති අතර තවත් 45 ක් වසා දැමීමට ඉඩ ඇති බව සඳහන්. ආසාදන මැඩලීමේ ප්‍රයත්නයක් ලෙස විශ්වවිද්‍යාල පරිශ්‍රවල ක්‍රියාකාරකම් සීමා කර ඇති අතර පාසල් මුළුමනින්ම වසා දමා තිබෙනවා. මේ මස මුලදී, ජාතික තැපැල් බලධාරීන් පැවසුවේ සම්ප්‍රේෂණය අවහිර කිරීම සඳහා සියලුම විදේශ තැපෑල කොවිඩ්-19 සඳහා පරීක්‍ෂා කරන බවයි.

චීනය කොවිඩ්-19 වෛරසය මැඩපැවත්වනු ලැබූ 2020 වසරෙන් වසර දෙකකට පසුවත් Zero-Covid උපාය මාර්ගය අනුගමනය කළ රටකි. ඒ වෙනුවෙන් දැඩි සීමාකාරී ක්‍රියාමාර්ගයන් ගැනීමට චීනය කිසිවිටෙක පසුබට වුණේ නැහැ. ශූන්‍ය කොවිඩ් නොඑසේ නම් Zero-Covid ප්‍රතිපත්තියෙන් චීනය අවධාරණය කරන්නේ එක් කොවිඩ් ආසාධනයක් හෝ සිදුවිය නොහැක යන්නයි. එම තත්ත්වය තුළ තරු පහේ හෝටලයක් වෙත යාම සඳහා වෛරසය ආශ්‍රිත ආගන්තුකයකුට කෙටි දුරක් මඟ පෙන්වීම නිසා මඟ පෙන්වන්නෙකුට සති දෙකක නිරෝධායන අඩස්සියට යාමට සිදු වුණා. වරක් දුම්රිය කාර්ය මණ්ඩල සාමාජිකයකු ආශ්‍රිතයකු වීම නිසා දුම්රියක් නිරෝධායනයට රැගෙන ගොස් තිබුණේ මඟීන් තොගයක් සමඟයි. මෑතක චීනයේ ඩිස්නි නිකේතනයේ 33863 ක විශාල ප්‍රමාණයක් එකවර පරීක්ෂාවට ලක් කළේ පෙර දිනයේ කොවිඩ්-19 ආශ්‍රිත එක් ආගන්තුකයකු වාර්තා වී තිබීම හේතුවෙනි. මේ හේතුවෙන් එක් කොවිඩ්-19 ආසාධිතයකු පවා මුළුමහත් ජන ජීවිතයම අඩාල කළ අතර විටෙක භීතියට පත් කළා. මෙම තත්ත්වය තුළ නව අගුලු දැමීම් සහ සීමා පැමිණෙන්නේ වසර දෙකක් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළ තෙහෙට්ටුවට ලක් වී සිටි ආර්ථිකය ඇතුළු විවිධ අංශ ගණනාවක් නැගිටගත නොහැකි තරම් හෙම්බත් කරමිනි.

එහෙත් රජය කොවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තියේ කෙතරම් තදින් ඇලී ගැලී සිටිනවා ද කියතොත් කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලධාරීන් ඉවත් කරමින් දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබුණා. ජිලින් පළාතේ ශිෂ්‍ය නිවාසයක කොවිඩ් පැතිරීමත් දුසිම් ගනනකට ආසාදනය වීමත් සමඟ මාධ්‍ය වාර්තා කර තිබුණේ එම විශ්ව විද්‍යාල ප්‍රධානියා නෙරපා හරිනු ලැබූ බවයි. ජිලින් කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පක්‍ෂ ප්‍රධානියා සේවයෙන් පහ කිරීම සඳහා කිසිදු හේතුවක් ඉදිරිපත් නොකළ නමුත් එය සිදුවූයේ ද විශ්වවිද්‍යාලයක ඇති වූ පැතිර යාමකින් පසුවයි.

මේ අතර හොංකොං සිටින්නේ එහි පස්වන සහ නරකම කොරෝනා වෛරස රැල්ලට එරෙහිව සටන් කරමිනි.වසර දෙකකට ආසන්න කාලයක්, හොංකොං දැඩි නිරෝධායනය, ආසාධිතයන් හුදකලා කිරීම සහ ආශ්‍රිතයන් ලුහුබැඳීමේ උත්සාහයන් මත විශ්වාසය තබා ඇති අතර, සෙසු ලෝකයේ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන තිබියදීත් සංසන්දනාත්මකව නගරය පැවතුණේ දැඩි සීමාවලයි.

එහෙත් නවතම ඔමික්‍රෝන් රැල්ල හමුවේ එම පියවර තවදුරටත් ප්‍රමාණවත් නොවන බව පැවසෙනවා. බරපතලකම නොසලකා සියලුම ධනාත්මක රෝගීන් රෝහල් කරා යැවීමට හොංකොං රජය අවධාරනය කර ඇති නිසා අවම වශයෙන් එක් රෝහලක් හෝ අධික ලෙස පිරී ඉතිරී ගොස් ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් , ජනාධිපති ෂී ජින්පින්ග් අසාමාන්‍ය පියවරක් ගනිමින් මාර්තු 9 වන දින හොංකොං නිලධාරීන් සෘජුවම කැඳවා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබුණා. ෂීගේ මෙම මැදිහත්වීම හොංකොං වැසියන් තුළ බිය දෙගුණ තෙගුණ කර ඇති බවයි සඳහන් වෙන්නේ.මන්ද යත් , Zero Covid ක්‍රියාත්මක වන චීනයේ ප්‍රධාන භූමියේ දක්නට ලැබෙන පරිදි සීමා කිරීම්, නගර පුරා අගුලු දැමීම් ඇතුළුව දැඩි ක්‍රියාමාර්ග පිළිබඳ හොංකොං වැසියන් තුළ තවදුරටත් විශ්වාසයක් නැහැ. හොංකොං පළාත් පාලන ආයතනය මිලියන හතකට වැඩි ජනතාවක් එසේ නිවෙස් තුළට කොටු කිරීම ප්‍රායෝගික නැති බව පවසා තිබෙනවා. කෙසේවෙතත් ෂී ගේ උපදෙස් අනුගමනය කිරීම හැර හොංකොං වෙත වෙනත් විකල්පයක් නැහැ. තවත් පැත්තකින් හොංකොං නගරය එහි දරුණුතම වසංගත රැල්ලට එරෙහිව සටන් වදින බැවින් වෙහෙසට පත් වැසියන් දහස් ගණනක් දිනපතා හොංකොං හැර යාම ද දරුණු වී තිබෙනවා.

මේ අතර , හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විශේෂඥයකු සහ රජයේ උපදේශකයකු වන මහාචාර්ය ගුවාන් යී ඩිකන්ස් මෑතක දී රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක් වෙමින් පැවසුවේ වෛරසය දිගුකාලීනව සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා ශූන්‍ය කොවිඩ් උපායමාර්ගය භාවිත කිරීමේ ප්‍රයෝජනයක් නැති බවයි.”වෛරසය දැන් ස්ථිරයි.එය දිගුකාලීනව මිනිසුන් තුළ සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා හා සමානයි” යනුවෙන් ඔහු පවසනවා.

කෙසේවෙතත් චීනය වෛරසයේ පැතිර යාම වැඩි වූ සෑම අවස්ථාවක දී ම යළි ශූන්‍ය අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජනතාව දැඩි ලෙස පාලනයකට ලක් කිරීමේ ප්‍රතිපත්තිය නවතා දැමීමට සූදානම් බව පෙනෙන්නට නැහැ.

ඊට හේතුව කුමක්දැයි හරියටම පැහැදිළි නැහැ. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සම්මේලනය පැවැත්වෙන අතර එහිදී ජනපති ෂී ජින් පින් ඓතිහාසික තුන්වෙනි ධූර කාලය ඇරඹීමට අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව පැවසෙනවා..චීන ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ හරයත් එයම විය හැකි බවට ද අදහස් පවතින්නේ මේ පසුබිම තුළයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?