සුපිරි නිවසකදී සුරූපී නර්තන ශිල්පිනියක මරුට

ලණුවකින් ගෙල වැලලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියකගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් තිබුණේ අඹගස්වැව, හිරියාල, තරණගොල්ල පදිංචිව සිටි අභයකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි හේරත් නමැති 28 හැවිරිදි රූමත් කාන්තාවකි.

මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක කාමරයක ගෙල වැලලාගෙන සිටියදී, ලණුවෙන් ඇය මුදාගෙන පුද්ගලයකු විසින් රෝහලට රැගෙන ගිය බවට පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය කීවේය. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා වහා එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර, නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට රැගෙන ගිය පුද්ගලයා එම රෝහල් පරිශ්‍රයේ සිටියදී එම නිවාස සංකීර්ණය වෙත රැගෙන විත් ඇති අතර, රෝහලට රැගෙන යන විටත් ඇය මිය ගොස් සිටි බව එම පුද්ගලයා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන්ය.

නිකවැරටිය, මිල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම පුද්ගලයා ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නකු බවත්, ඔහු දරුවන් තිදෙනකු සිටින විවාහකයකු බවත් පොලිසිය කීවේය.

ඔහු මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර, එකී කාලයේ සිට මාසිකව රුපියල් තිස්දහසක කුලී මුදලකට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව එහි පදිංචිකරවා තිබූ බවත් දින කිහිපයකට වරක් ඔහු එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බවත් පොලිසිය පැවසීය.

මියගිය කාන්තාව ද දික්කසාද වූ තැනැත්තියක බවත් මීට වසර පහකට පෙර ඇය සිය ගම් ප්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත ව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?