තමන් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට උත්සහ දරන්නේ වසර හැත්තෑවක වෑයමකින් පසු ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට එකතු කිරීම නැවැත්වීමට ද නොඑසේ නම් ලක් ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන වසර 52ට පසු ඉදිවන නව තෙල් පිරිපහදුව ඉදි කිරීම නැවැත්වීමට දැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ දින (2021.07.20) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණකර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බලශක්ති අමාත්‍යවරයා ලෙසින් ඔහුට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය
2019 අප්‍රේල් මාසයේ දී වත්මන් විපක්ෂය ආණ්ඩු කරන සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව අපි විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒක විවාද කරන්න අපට ලබා දුන්නේ එක දවසයි. නමුත් මට එරෙහිව ගෙනා මෙම විශ්වාස භංග යෝජනාවට දින තුනක් ඉල්ලා දින දෙකක් ලබාගෙන තිබෙනවා. තමන්ගේම අගමැතිවරයාටත් වඩා ඉහලින් මාව ඔසවා තැබීම පිලිබඳ සමගි ජන බලවේගයට මගේ ප්‍රණාමය පුද කරනවා.
විශ්වාස භංග යෝජනාව ස්ථිර කරපු කබීර් හසීම් මන්ත්‍රිතුමාගේ වගකීම තමයි යෝජනාවේ අඩංගු චෝදනා එකින් එක අරගෙන ඒවා ඉදිරිපත් කිරීමට හේතු දැක්වීම. තවම දේශපාලන මොන්ටිසෝරියේ ඉන්නා කබීර් මන්ත්‍රිතුමාගෙන් ඒ වගකීම ඉටු වුණේ නෑ. චෝදනා දහයෙන් එකක් වත් ඉදිරිපත් කරන්නේ ඇයි කියලා කරුණු දක්වන්න කබීර් මන්ත්‍රිතුමාට බැරි වුණා.
යම් ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එනවා නම් ඔහුට එරෙහිව නගන චෝදනා එහි නිශ්චිතව සඳහන් විය යුතුයි. නමුත් සමගි ජන බලවේගය මට එරෙහිව ගෙනා මේ විශ්වාස භංග යෝජනාවේ මට එරෙහිව කිසිම චෝදනාවක් අඩංගු වන්නේ නෑ. ඔන්න ඔය නිසා තමයි මේ යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ කියලා දැකපු පළමු දවසේම මම කිව්වේ. මම එහෙම කියන්නේ ඇයි කියා අපි විශ්වාස භංග යෝජනාවේ අඩංගු චෝදනා එකින් එක අරගෙන බලමු.
පළමු චෝදනාවෙන් කියන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ඉන්ධන මිළ ඉහළ දැමීමක් කළ බවයි. 1961 අංක 28 දරණ ඛනිජතෙල් සංස්ථා පනතේ 66 වන වගන්තිය අනුව මුදල් ඇමතිවරයාගේ එකඟතාවයෙන් ඉන්ධන මිළ වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙන්නේ නෑ වගේම කවදාවත්ම ඇමති මණ්ඩලය විසින් ඉන්ධන මිළ වැඩි කරලාත් නෑ. එතුමන්ලා ආණ්ඩු කරපු කාලයක දීවත් ඇමති මණ්ඩලය තීන්දු කරලා මිල සංශෝධනය කරලා නෑ. ඉතින් මේ නීතිය දන්න එකම එක මන්ත්‍රි කෙනෙකුවත් සමගි ජන බලවේගයට නැද්ද?
දෙවන චෝදනාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(1) වගන්තියේ අඩංගු රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝණය කර 28 වගන්තියේ අඩංගු මූලික යුතුකම් පැහැර ඇති බවයි. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන්නේ ඇමති මණ්ඩලයට මිස බලශක්ති ඇමතිට නොවේ. ආණ්ඩුව පෙරලලා අපි රට භාර ගන්නවා කියලා ඊයේ හඬ නැගුවේ ඒ්කවත් නොදැනද? විපක්ෂ නායකතුමනි, මේ ඔබේ අවධානයටයි.
ලෝක වෙළඳපොලේ තෙල් මිළ පහත වැටුණු සමයේ තෙල් සංස්ථාව කෙතරම් ලාභයක් ලැබුවා ද රජය කෙතරම් ලාභ ලැබුවා ද කියා මම පාර්ලිමේන්තුව දැනුම්වත් කලේ නැහැ කියලා තුන්වන චෝදනාවෙන් කියනවා. විපක්ෂයේ මොන්ටිසෝරි බබාලා දන්නේ නැති වුණාට ආණ්ඩු ලාභ ලබන්නේ නෑ. ආණ්ඩු ලබන්නේ ආදායම් පමණයි. 2020 වසරේ තෙල් සංස්ථාව කෙතරම් ලාභයක් ලැබුවා ද ආණ්ඩුව තෙල් මත බදු අය කර කෙතරම් ආදායමක් ලැබුවා ද කියන එක පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කරලා තිබෙන 2020 මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබෙනවා. මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කළ කිසිම කෙනෙකු මහ බැංකු වාර්තාව කියවා නැති බවයි මේ යෝජනාව හරහා රටට කියන්නේ.
හතර වන චෝදනාවෙන් කියන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර ඛනිජතෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන බවට දුන් පොරොන්දු ඉටු නොකළ බවයි. මම ඉතාම වගකීමෙන් කියනවා මම එහෙම පොරොන්දුවක් ජනතාවට දුන්නේ නෑ. එහෙම නම් මට විශ්වාස භංගයක් ගේන්නේ ඇයි?
මෙතැන දී තලතා මන්ත්‍රිතුමියටත් පිලිතුරක් දෙන්න ඕනි. කවුදෝ සභාපතිවරයෙකු උපුටා දක්වමින් ඔපෙක් රටවලින් සෘජුව තෙල් මිල දී ගන්නේ නැතුව සිංගප්පූරුවෙන් තෙල් මිල දී ගන්නේ ඇයි කියලා ඇහුව්වා.
ඔබතුමියට බණ්ඩක්කා ගන්න ඕන වුනාම ඔබතුමිය යන්නේ බණ්ඩක්කා වවන බණ්ඩාර ගේ වත්තට ද එහෙම නැත්නම් ගමේ පොළටද? බණ්ඩක්කා වවන සියලු දෙනාත් බණ්ඩක්කා අරගෙන පොළට එනවා. බණ්ඩක්කා ගන්න ඕන සියලු දෙනා මලු අරගෙන පොළට යනවා. පොළේදී තමයි ගනුදෙනුව සිදු වෙන්නේ. ඒ වගේ කොහේ හැදුණත් වෙළෙඳපොළේදී තමයි භාණ්ඩ හුවමාරු වෙන්නේ.
ඔපෙක් රටවල් බොහෝවිට කරන්නේ බොරතෙල් විකිණීම. අපි බොරතෙල් මෙන් තුන් ගුණයකටත් වඩා ඛනිජතෙල් නිෂ්පාදිත මිල දී ගන්නවා. ඛනිජතෙල් නිෂ්පාදිත පිළිබඳ ආසියාවේ ලොකුම වෙළඳපොල සිංගප්පූරුව මිස මැදපෙරදිග නෙවෙයි. මේ විෂය දන්නැති අය තමයි එහෙම හිතාගෙන ඉන්නේ. මැදපෙරදිග හදන්නේ බොරතෙල්. සිංගප්පූරුව තමයි බොරතෙල් පිරිපහදු කරලා පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන්යානා තෙල්, නැව් තෙල්, දැවි තෙල්, ලිහිසිතෙල් ආදී වශයෙන් හදලා ලෝකෙට බෙදාහැරීමේ ආසියාවේ වෙළෙඳපොල. සමස්ත ලෝකයේ නැව්තෙල් වෙළඳාමෙන් 25%ක් සපයන්නේ සිංගප්පූරුවයි. නමුත් අපි සිංගප්පූරුවෙන් තෙල් මිල දී ගන්නවා කියන එක ජනප්‍රිය බොරුවක්.
අපි කොළඹ වරාය දක්වා ඛනිජතෙල් සැපයීම සඳහා සමස්ත ලෝකයෙන්ම මිල කැඳවනවා. කොළඹ වරායට ගෙනල්ලා දෙන්න තෙල් මෙට්‍රික් ටොන් එකකට ඔබ කීයක් අය කරනවා ද කියලා අපි ලංසු කැඳවීමක් කරනවා. එතකොට මැදපෙරදිග රටවල් වල සමාගම්, සිංගප්පූරු සමාගම්, චීන සමාගම් යනා දි වශයෙන් ලෝකයේ පුරාම සිටින මේ සියළුම ආයතන තරගකාරීව ලංසු තැබුවාම අපිට වඩාත් වාසිදායකම ලංසුව තබන අයගෙන් තමයි අපි තෙල් මිල දී ගන්නේ. මේක මේ මම පටන් ගත්තු ක්‍රමවේදයක් නොවේ. මේක තමයි ඉතිහාසය පුරා ක්‍රියාත්මක වුණු ක්‍රමවේදය.
එතකොට මේ අවුරුද්දේ ලොකුම ටෙන්ඩරය ගිහින් තිබුණේ Petro China කියන චීන ආණ්ඩුවේ නිල තෙල් සමාගමට. අපේ ගාව වැඩිපුරම ලියාපදිංචි වෙලා තියෙන්නේ තෙල් නිපදවන රටවල රාජ්‍ය තෙල් සමාගම් තමයි. KPC නමින් තිබෙන කුවේට් පෙට්‍රෝලියම් කෝපරේෂන් (Kuwait Petroleum Corporation), ඊජිප්තු රජයට අයත් EGPC හෙවත් Egypt Government Petroleum Corporation, මැලේසියානු ආණ්ඩුවේ Petronat Group, තායිලන්ත ආණ්ඩුවේ PTT public, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ENOC, සිංගප්පූරුවේ PV Oil, වියට්නාමයේ පෙට්‍රෝ වියට්නාම් ආදී වශයෙන් ඇති රාජ්‍ය ආයතන ගණනාවක් ඒ අතර තිබෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තෙල් මිල දී ගැනීමේ ක්‍රියාවලියට අමාත්‍යවරයාගේ කිසිම සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ. තෙල් තමයි ආණ්ඩුව කරන දැවැන්තම මිලදී ගැනීම නිසා වෙන අමාත්‍යාංශවල මිලදී ගැනීමේ ක්‍රියාවලියට වඩා තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙනස්. ඒ් සම්බන්ධයෙන් විශේෂිත ක්‍රියාවලියක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය පත් කරපු විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් තිබෙනවා. ඒකේ සභාපති ඉන්නේ ජනාධිපතිතුමා විසින් පත් කළ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ වසන්තා පෙරේරා මැතිණිය. ඒ වගේම ජනාධිපතිතුමා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කළ කේ ඩී ආර් ඔල්ගා මැතිණිය නිල බලයෙන් එම කමිටුවේ සාමාජිකාවක වෙනවා. තවත් නිල බලයෙන් පත් වුණු සාමාජිකයෙක් තමයි ජනාධිපතිතුමා විසින් තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස පත් කළ බුද්ධික මඩිහේවා මැතිතුමා. ඊළඟට ඉන්නවා මහ බැංකුවේ නියෝජිතයන් සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන්. මගේ කිසිම නියෝජිතයෙක් එතැන නැහැ.
ඊළඟට තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානියා විදියට ඉන්නේ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධම්මික මල්ලිකාරච්චි මහතා. එතුමාව ඒ තනතුරට පත් කරන්නේ 2016 යහපාලන ආණ්ඩුව. මම ඇවිල්ලා දැන් වසරකට ආසන්නයි. මම එතුමාව අයින් කරලා මගේ ඉත්තෙක් ගැත්තෙක් එතැනට දාන්න කටයුතු කරලා නෑ. ඒ වගේම වෙනත් අමාත්‍යාංශ වල මිලදී ගැනීම් සිදු කරන විට මිල දී ගැනීමට ප්‍රථම අමාත්‍යවරයා අත්සන් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනෑ. හැබැයි තෙල් සම්බන්ධයෙන් තිබෙන්නේ විශේෂ ක්‍රමයක්. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරපු ප්‍රසම්පාදන කමිටුව තෙල් මිල දී ගත්තාට පසු අමාත්‍යවරයා විසින් ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර පසු අනුමැතියක් ලබා ගන්නේ. ඔය කමිටුවල ඉන්න කිසිම අයෙකුට ටෙන්ඩර් සම්බන්ධයෙන් මගෙන් දුරකතන ඇමතුමක්වත් ලැබිලා තිබෙනවා ද කියන එක තමුන්නාන්සේලාම සොයා බලන්න.
පස් වන චෝදනාවෙන් කියන්නේ වසර දෙකකට ඉන්ධන මිළ වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටු නොකලාලු. කවුද දෙයියනේ එහෙම පොරොන්දුවක් දුන්නේ ? මම නම් එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ. වසර දෙකකට තිබෙන්නේ මාස 24යි. අපේ ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කලේ මාස 21කට පස්සේ කියන එකත් මතක තබා ගන්න.
මම ජූනි 17 දින මාධ්‍ය හමුවක් පවත්වලා මම මේ පොරොන්දු දෙකම දුන්නේ නෑ පුළුවන් නම් පොරොන්දු දුන්නා කියලා ඔප්පු කරන්න කියා අභියෝගයක් කළා. ඒ අභියෝගයට දැන් මාසයකට වඩා වයසයි. තවම ඒක ඔප්පු කරන්න විපක්ෂයට බැරි වුණා. අවම වශයෙන් මේ විවාදයේ දීවත් ඒක ඔප්පු කරන්න විපක්ෂයට බැරි වුණා. ඒ කියන්නේ තමන්ගේ විශ්වාස භංග යෝජනාවේ තිබෙන්නේ පට්ටපල් බොරු බව විපක්ෂයත් පිලිගන්නවා කියන එකයි.
හය වන චෝදනාව වන්නේ ආණ්ඩුව පිහිටු වූ මිළ ස්ථායිකරණ අරමුදලට මොකද වුණේ කියන එක පාර්ලිමේන්තුවටත් ජනතාවටත් දැන්වීමට මම අසමත් වුණා කියන එකයි. මිළ ස්ථායිකරණ අරමුදල පිහිටු වූයේ මම නොවේ. ඒ අරමුදල පිහිටුවන්න තීරණය කලේ 2020 මාර්තු 30 දා. ඒ අවස්ථාව වන විට මම බලශක්ති ඇමති තබා අඩුම ගණනේ ඇමතිවරයෙකුවත් නොවේ. ඒ වගේම ඒ පත්‍රිකාව ඉදිරිපත් කලේ මගේ අමාත්‍යාංශයෙන්වත් නොවේ. නමුත් ඒ අරමුදලට මොකද වුණේ කියන එක මම තමයි ජනතාවට කිව්වේ කියන එක විශේෂයෙන්ම කියන්න ඕනෑ. ඒක විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට නොතේරුණු නිසා මම අද නැවත කියන්නම්.
2020 මාර්තු මාසයේ මිල ස්ථායිකරණ අරමුදල නමින් අරමුදලක් පිහිටු වූවාට ඒක ඇත්තටම මිළ ස්ථායිකරණ අරමුදලක් වුණේ නෑ. මිළ ස්ථායිකරණ අරමුදලකින් වෙන්නේ මිළ පහත වැටෙන විට මිළ අඩුවීමේ වාසියෙන් කොටසක් මිළ ස්ථායිකරණ අරමුදලකට මාරු කර ඒ මුදල් ආයෝජනය කරනවා. ඉන්ධන මිළ වැඩි වන විට ඒ අරමුදලින් ඉන්ධන අලෙවි කරන ආයතන වලට පරණ මිලටම ඉන්ධන විකිණීමෙන් සිදු වන පාඩුව පියවමින් ඉන්ධන මිළ ස්ථාවරව පවත්වා ගන්නවා. නමුත් 2020 හැදුවේ එහෙම අරමුදලක් නොවේ.
2020 වසරේ ආණ්ඩුවේ ආදායම දැඩි ලෙස පහත වැටුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් 8%කට පහත වැටුණා. ආනයන සීමා කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ දැවැන්ත බදු මුදලක් ලබා දෙන වාහන ආනයනය නැවතුනා.
ආණ්ඩුවේ ආදායම ඇදගෙන වැටෙන අතරේ කොරෝනා නිසා රුපියල් බිලියන 300කට ආසන්න අතිරේක වියදමක් ඇති වුණා. ඒ නිසා ඒ වියදම් දරා ගන්න තෙල් බදු ආදායම පාවිච්චි කළා. මේ අරමුදල ආරම්භ කරන්න දාපු රුපියල් බිලියන 48ටත් විදුලි බිල වැඩි කරන එක නතර කරන්න විදුලිබල මණ්ඩලයට ප්‍රදානයක් ලෙස දුන්නා. මිළ ස්ථායිකරණ අරමුදලට වුණේ මොකද්ද කියන එක පාර්ලිමේන්තුවටත් ජනතාවටත් කිව්වේ නෑ කියා විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය දැක්කේ නැති වුණාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහ බැංකු වාර්තාවේ මේ අරමුදල පිලිබඳ පැහැදිලි විස්තරයක් තිබෙනවා. අනිත් එක මිළ ස්ථායිකරණ අරමුදල නමින් අරමුදලක් හැදුවේ මම නොවේ. අඩුම ගණනේ මගේ අමාත්‍යාංශයෙන්වත් නොවේ. එහෙම නම් ඒක ගැන මගෙන් අහන්නේ ඇයි?
තෙල් මිළ අඩුවීම තුලින් ආණ්ඩුවට ලැබෙන ලාභය යොදාගෙන තෙල් සංස්ථාව ණයගැති භාවයෙන් මුදා ගැනීමට දුන් පොරොන්දුව ඉටු නොකළ බව හත්වන චෝදනාවයි. මම කවදාවත් එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ. මම දුන්නු පොරොන්දුව තිබෙන හඬ පටය පෙන්වන්න කියා මම මේ විශ්වාස භංගයට අත්සන් කළ මන්ත්‍රිවරුන්ට ජූනි 17 දා අභියෝග කලා. හතලිස්තුන් දෙනෙක් අත්සන් කලත් එකම එක් අයෙකුවත් මේ මොහොත වන තුරු ඒ අභියෝගය භාර ගත්තේ නෑ. ඔන්න ඕකට තමයි කියන්නේ දැන දැන වැරදි කරනවා කියලා.
අටවෙනි සහ නවවන චෝදනා වලින් කියන්නේ ඉන්ධන මිළ ඉහළ යෑම නිසා ජීවන වියදමත් නිෂ්පාදන වියදමත් වැඩි වුණා කියන එකයි. ඒක ඉන්ධන මිළ වැඩි කළ සෑම අවස්ථාවකම වුණු එකක්. 2013 දී ඩීසල් රු121/-ටත් පෙට්‍රල් 162/-ටත් වැඩි වුණා. නමුත් කවුරුවත් බලශක්ති ඇමතිට විශ්වාස භංග යෝජනා ගෙනාවේ නෑනෙ. ඉන්ධන මිළ වැඩි කරනවා වෙනුවට අපි කළ යුතුව තිබුණේ කුමක්ද? විවේචන වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න කියා අපි ජූනි 13දා විපක්ෂයෙන් ඉල්ලුවා. අද වන තුරු විකල්ප ඉදිරිපත් කරන්න මේ විපක්ෂය අසමත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ බොරුවට කෑගැහුව්වාට ඉන්ධන මිල වැඩි කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නෑ කියන එක විපක්ෂයත් පිලිගෙන ඉවරයි.
තෙල් මිල වැඩි කරන අවස්ථාවේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 76යි. පසුගිය සතියේ ඩොලර් 83යි. ඒ කියන්නේ මාසයකට 10%ක වැඩි වීමක්. ඒකයි කියලා අපි තෙල් මිල වැඩි කරලා නෑ. නමුත් අද මංගලගේ මිල සූත්‍රය තිබුණා නම් අපි රු 157/-ට විකුණන පෙට්‍රල් ලීටරයක මිල රු 179යි. මංගලගේ මිල සූත්‍රය තිබුණා නම් අද අපි රු 111/-ට විකුණන ඩීසල් ලීටරයක මිල රු 134/- දක්වා ඉහල යනවා.
තෙල් මිල වැඩි කිරීමට කලින් දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තිබුණේ ලංකාවේ. දැනුත් පකිස්තානයට පසු අඩුම තෙල් මිල ලංකාවේ. තෙල් නිපදවන ඉන්දියාවේ සහ බංගලිදේශයේත් තෙල් මිල අපට වඩා වැඩියි. එහෙව් රටේ තමයි තෙල් මිල අඩු කරනු කියලා උද්ඝෝෂණය කරන්නේ.
ආණ්ඩුව අද මුහුණ දීලා තිබෙන විදේශ විනිමය අර්බූදය අපි සරලව තේරුම් ගනිමු. 1977 සිටම ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. සාමාන්‍යයෙන් අපි පිටරටට බඩු විකුණලා ඩොලර් බිලියන 12ක් උපයා ගන්න විට පිටරටින් බඩු මිල දී ගන්න ඩොලර් බිලියන 20ක් වියදම් කරනවා. ඒ කියන්නේ ආදායම සහ වියදම අතර පරතරය ඩොලර් බිලියන 8ක්. ණය ගෙවීම සඳහා තවත් ඩොලර් බිලියන 5ක් ඕනෑ. දැන් අවශ්‍යතාවය ඩොලර් බිලියන 13යි. අපි මේ පරතරය පියවා ගත්තේ විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලර් බිලියන 7, සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ආයෝජන වලින් ලැබෙන ඩොලර් බිලියන 6 යොදාගෙන. තව දුරටත් හිඟයක් තිබුණොත් ණයත් ගන්නවා.
කෝවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණා. විදේශ ආයෝජන නැවතුණා. විදෙස්ගත ශ්‍රමිකයින් දස දහස් ගණනින් රැකියා අහිමි වී ලංකාවට ආවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපට ආනයන සහ ණය ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඩොලර් හෙවත් විදේශ විනිමය හිඟයක් ඇති වුණා. ඒ නිසා තමයි ආණ්ඩුව වාහන සහ සුඛෝපබෝගි භාණ්ඩ ආනයන සීමා කරන්න කටයුතු කලේ.
ඛනිජතෙල් කියන්නේ 100%ක්ම ආනයනය කරන භාණ්ඩයක්. පිටරටින් ඛනිජතෙල් මිල දී ගැනීමට ඩොලර් අවශ්‍යයයි. වත්මන් මිල අනුව සෑම මසකටම ඩොලර් මිලියන 400ක් පමණ අවශ්‍ය වෙනවා. මෑතක දී ආණ්ඩුවේ දැවැන්ත වෑයමක ප්‍රතිඵලයක් ලෙස අපට බංගලිදේශයෙන් ලැබුණු ණය මුදල ඩොලර් මිලියන 250යි. ඒක එක මාසයක තෙල් ආනයනයටවත් ප්‍රමාණවත් නෑ ලංකාව පිටරටින් ගෙනෙන භාණ්ඩ අතුරෙන් වැඩිම මිලක් වැය කරන්නේ ඛනිජතෙල් සඳහා. ඒ නිසා ඛනිජතෙල් ආනයනය සීමා නොකර අපට ඉතිරි වී තිබෙන විදේශ විනිමය රැක ගන්න පුළුවන් වන්නේ නෑ. තෙල් මිල වැඩි කිරීමේ ප්‍රධානම හේතුව ජනතාව අරපිරිමැස්මෙන් තෙල් භාවිතා කිරීමට පෙළෙඹවීමයි.
ඉන්ධන මිල ඉහල දැමීමෙන් ජීවන වියදම වැඩි වුණා කියලා. ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුව මේ කාරණය පිළිබඳ අවධානය යොමු කළා. ලංකාවේ ලොකුම ආනයන භාණ්ඩය වන්නේ ඛනිජතෙල්. වසරකට ඩොලර් බිලියන 3ක් 5ක් අතර ගණනක් ඒ සඳහා වැය වෙනවා. තෙල් හේතුවෙන් ඩොලර් වලට ඇති වන ඉල්ලුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය ඉහළ යනවා. ඒ කියන්නේ ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන වැඩි වෙනවා. 2014 අග දී රු131/-ක් වුණු ඩොලරය දැන් රු200/-ක්. ඒ කියන්නේ 53%කින් ඩොලරයේ අගය ඉහළ ගිහින්.
ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන භාණ්ඩ වල මිලත් 53%කින් ඉහළ ගිහින්. ඉන්ධන මිල වැඩි කලේ නැති නම් තව දුරටත් ඩොලරයේ අගය යනවා. ජීවන වියදමට වඩාත් බලපෑමක් එල්ල වන්නේ ඩොලරයේ අගය ඉහළ යෑම ද ඉන්ධන මිල ඉහළ යෑම ද කියන එක අපි ගැඹුරින් අධ්‍යනය කළා. ඩීසල් මිල ඉහල යෑමෙන් මිල ඉහල යන භාණ්ඩ ගණනට වඩා වැඩි භාණ්ඩ ගණනක මිල ඩොලරය වැඩි වීමෙන් ඉහල යනවා. ඒ නිසා තමයි ඩීසල් මිල 6%කින් වැඩි කිරීමට තීරණ කලේ.
රජය පත්වීමේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වෙලා වුණා කියන එකයි දසවන චෝදනාව. ඉතින් ඒකට මම ඉල්ලා අස්විය යුත්තේ ඇයි? ආණ්ඩුව පත් වුණෙ පස් වසරකට. ඒ කාලය අවසන් වුණාම ආණ්ඩුව පිළිබඳ තීන්දුව ගත යුත්තේ ජනතාව මිස විපක්ෂය නොවේ.
දැන් බලන විට චෝදනා 10ම පදනම් විරහිතයි. ඒ කියන්නේ චෝදනා එකක්වත් නෑ. විශ්වාස භංගයකුත් නෑ. හරියට විශ්වාස භංග යෝජනාවක් සකස් කරන විධිය දැන ගන්න ඕනෑ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට, රිෂාඩ් බදියුඩීන් සහ රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ට එරෙහිව අපි ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා අධ්‍යනය කරන්න කියලා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ විපක්ෂය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නම් භංග වෙනවා සිකුරුයි.
මේ චෝදනා දහයෙන් එකක්වත් මට එරෙහිව නොවේ නම් මේ වගේ විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් බලශක්ති ඇමති ධූරය මට අහිමි කිරීමේ යටි අරමුණක් තිබෙනවා ද?
ගරු කතානායකතුමනි,
බටු මිරිස් තක්කාලි වගා කලොත් මාස කිහිපයකින් අස්වැන්න ලබා ගන්න පුළුවන්. නමුත් තේක්ක බුරුත වගා කලොත් අස්වැන්න ලබන්න වසර විස්සක් තිහක් බලා ඉන්න වෙනවා. බලශක්ති අමාත්‍යාංශය කියන්නෙත් දිගුකාලින ව්‍යාපෘති තිබෙන අමාත්‍යාංශයක්. බලශක්ති අර්බූදයට කෙටිකාලින විසඳුම් නෑ. තිබෙන්නේ මැදිකල් දිගුකල් විසඳුම්.
අපේ මැදිකල් විසඳුම තමයි රටට අවශ්‍ය ඛනිජතෙල් නිෂ්පාදන රට තුලම පිරිපහදු කර ගැනීම. 1969 දී වැඩ ඇරඹූ සපුගස්කන්ද පිරිපහදුවට දැන් අවුරුදු 52ක් පරණයි. එයින් සපයන්නේ රටේ අවශ්‍යතාවයෙන් 25%කටත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා විශාල විදේශ විනිමයක් වැය කරලා පිරිපහදු කල තෙල් අපි ගේන්නේ පිටරටින්. 1983 සිටම නව පිරිපහදුවක් ඉදි කරන්න විවිධ ආණ්ඩු උත්සාහ කලත් බැරි වුණා. අපි මේ වන විට පූර්ව ශක්‍යතා අධ්‍යනය සම්පූර්ණ කරලා ශක්‍යතා අධ්‍යනය කරමින් ඉන්නවා.
දෛනිකව තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කරන නව පිරිපහදුවක් ඉදි කරන්නත් පවතින පිරිපහදුවේ ධාරිතාව බැරල් 38,000 සිට 45,000 දක්වා ඉහල නැංවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් මාසයේ දී මේ ව්‍යාපෘතියට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඩොලර් බිලියන තුනක් නැතිනම් රුපියල් කෝටි 60,000ක් වැය වන මෙම ව්‍යාපෘතිය ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය බව බය නැතුව කියන්න පුළුවන්. ඉදිරි වසර තුන ඇතුලත මේ ව්‍යාපෘතිය අවසන් වෙනවා. කබිර් මන්ත්‍රිතුමාගේ වචන වලින්ම කියනවා නම් මේ ව්‍යාපෘතියෙන් වසරකට ඩොලර් මිලියන 400ක් රටට ඉතිරි කරන්න පුළුවන්.
මෙවැනි දැවැන්ත මුදලක් ආයෝජනය කරන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. ණයක් ගන්නත් බෑ. ඒ නිසා ඉදිකර මෙහෙයුම් කර පැවරීමේ ක්‍රමයට නැතිනම් බීඕටී ක්‍රමයට තමයි අපි ඒක ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෞද්ගලික ආයෝජකයෙකු තෙල් පිරිපහදුව ඉදි කරලා තමන්ගේ වියදම ආවරණය කර ගන්නා තුරු ඒකේ මෙහෙයුම් කරලා ඊට පසු සංස්ථාවට ඒකේ අයිතිය පැවරීමටයි බලාපොරොත්තුව. ඒ සඳහා තමයි අපි ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කරන්නේ.
ඔන්න ඕකට තමයි කබීර් හසීම් මන්ත්‍රිතුමා මම තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න හදනවා කියලා චෝදනා කලේ. බොරු කීම කලාවක් නම් එහි පිකාසෝ ඔබයි කබීර් මන්ත්‍රිතුමනි. තෙල් සංස්ථාවෙන් තුනෙන් එකක් එල්අයිඕසී සමාගමට පැවරුවේ ඔබ මිස මම නොවේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන්නේ ඔබ මිස මම නොවේ. තෙල් සංස්ථාවට ඒකාධිකාරියක් තිබුණු තාර වෙලඳාම පෞද්ගලීකරණය කලේ ඔබ මිස මම නොවේ. ඒ නිසා ඔබතුමාගේ මට්ටමින් මාව මනින්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බලශක්ති අර්බූදයට අපේ දිගුකාලින විසඳුම තමයි රට සතු තෙල් සහ ගෑස් සම්පත් හැකි ඉක්මනින් ගොඩට ගැනීම. ඉන්දියාව විසින් ලංකා දේශ සීමාව ආසන්නයේ තෙල් සොයා ගත් දවසේ සිටම 1950 දශකයේ සිටම අපිත් තෙල් සොයනවා. සොයපු විධියේ වැරදි නිසා අපිට තවමත් මේ සම්පත ගොඩ ගන්න බැරි වෙලා තිබෙනවා. මන්නාරම් ද්‍රෝනියේ පමණක් ඩොලර් බිලියන 240ක් වටිනා තෙල් සහ ගෑස් තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ සම්පත පොලව පතුලේ සඟවා ගෙන අපි දුක් විඳිනවා. මේ සම්පත ගොඩට ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර අවසන් බව මම මේ ගරු සභාවට දැනුම් දෙනවා.
ගරු කතානායකතුමනි,
මාව ඇමති ධූරයෙන් ඉවත් කරන්න හදන්නේ වසර හැත්තෑවක වෑයමකින් පසු ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට එකතු කිරීම නවත්වන්න ද? ලක් ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන වසර 52ට පසු ඉදිවන නව තෙල් පිරිපහදුව ඉදි කිරීම නවත්වන්න ද? මේ ව්‍යාපෘති හරහා තෙල් විකුණන සමාගම් ලබන ලාභය නතර කිරීම වලක්වන්නද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අප සතු කර ගන්නා එක නවත්වන්න ද? නව තෙල් ටැංකි ඉදිකිරීමේ ව්‍යාපෘතිය නතර කරන්නද? වසර 75ක් පැරණි තෙල් නල වෙනුවට නව නල ඉදිකිරීම නවත්වන්න ද? කොමිස් කුට්ටි නැතුව මේ ව්‍යාපෘති ඉදිරියට යන එක දරා ගන්න බැරි නිසා ද?
තෙල් පිරවුම්හල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම බලශක්ති ඇමතිවරුන් සතු ජනප්‍රිය වැඩක්. මම ඇමති ධූරයට පත් වී වසරකට ආසන්න වුණත් අදටත් මා නිර්දේශ කර කිසිවෙකුට ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් නිකුත් කර නෑ. මගේ ප්‍රමුඛතාවය ඒක නොවේ. 2020 දෙසැම්බර් මාසයේ නැව්තෙල් බලපත්‍ර, ලිහිසිතෙල් බලපත්‍ර සහ තාර බලපත්‍ර තවත් වසරකට දිගු කරන්න ලිපි ගොනු ආවා. අනුමත කළ හැකි සියළුම ලිපිගොනු මම පැය විසි හතරක් ඇතුලත අනුමත කරලා ආපසු යැව්වා. ඊට පස්සේ මේ ආයතනවල ප්‍රධානින් බොහොමයක් මාව හමුවෙන්න ආවා. ඒ අය කිව්වේ මොකද්ද? වෙනදා නම් ලිපිගොනුව අනුමත කරන්න ඇමතිගේ ගාස්තුව දැනුම් දෙන්න පණිවිඩකරුවෙකු එනවා. ඔබතුමා එහෙම එව්වේ නැති වුණාම අපි පුදුම වුණා. පසුගිය ආණ්ඩුවේ එක් එක් ඇමතිවරු බලපත්‍ර දිගු කරන්න ලබා ගත් පගා ගැන දැන ගන්න ඕනෑ නම් තෙල් නිෂ්පාදන ආනයන කරන ඕනෑම සමාගමකට කතා කරලා බලන්න කියා තමුන්නාන්සේලාටම ආරාධනා කරනවා. මාව ඉවත් කරන්න යෝජනා ගෙනෙන්නේ ඒ දූෂිත යුගයට තිත තැබූ නිසා ද කියා මම විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා.
මේ අභියෝගාත්මක මොහොතේ මට ආශිර්වාද කළ මහනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නයටත් අන්‍යාගමික පූජකතුමන්ලාටත් මාගේ නමස්කාරය පුද කරනවා.
මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට නායකත්වය ගත් අතිගරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් සියළුම සහෝදර පක්ෂ නායකයින්ටත් මාගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා. මා වෙනුවෙන් මේ ගරු සභාව ඇමතූ මන්ත්‍රිවරුන් ගණනට වඩා කතා කිරීමට අවස්ථාව ඉල්ලා අවස්ථාව අහිමි වුණු මන්ත්‍රිවරුන් ගණන වැඩියි. මන්ත්‍රිවරුන් 89ක් අවස්ථාව ඉල්ලීමෙන් ආණ්ඩු පක්ෂ කාර්යාලයත් දැවැන්ත අමාරුවක වැටුණා. මා වෙනුවෙන් මේ ගරු සභාව ඇමතීමට ඉදිරිපත් වුණු සභාව ඇමතූ වගේම මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි මාගේ සහෝදර මන්ත්‍රිවරුන්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.
මට එරෙහිව පදනම් විරහිත චෝදනා නැගුණු මොහොතේ පටන් මාගේ කතාව රටට කියන්නට අවස්ථාව විවර කළ මාධ්‍ය ආයතන වලටත් මා වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුල සටන් කළ නාඳුනන දේශප්‍රේමින්ටත් මම හිස නමා ආචාරය කරනවා.
ඒ වගේම මට එරෙහිව විවිධ අවලාද නගන විට ඊට පිලිතුරු දෙන්න නිදි මරමින් ද නිවාඩු දින කැප කරමින් ද කටයුතු කළ අමාත්‍යාංශ ලේකම්තුමිය කේ ඩී ආර් ඔල්ගා මැතිණිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ටත් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල නිලධාරින්ටත් සෑම අභියෝගයක දීම මා සමග සිටින පිවිතුරු හෙළ උරුමයේ සටන් සගයන්ටත් මගේ කෘතවේදිත්වය පල කරනවා.
අවසානයට වුණත් වැදගත්ම ප්‍රණාමය හිමි විය යුත්තේ මගේ දිගුකාලීන මිත්‍රයා අද විපක්ෂ නායක ධූරය හොබවන සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයටයි. මට ජනතාව දක්වන ආදරය මගේ සහෝදර මන්ත්‍රිවරුන් දක්වන සහයෝගය උර ගා බලන්න මේ ස්වර්ණමය අවස්ථාව උදා කර දුන්නාට ඔබ සැමට බොහොම පිං.
කියුබානු දේශප්‍රේමි අරගලයට නායකත්වය දුන් ෆිදෙල් කැස්ත්‍රෝ 1953 දී තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කළ අවස්ථාවේ අධිකරණය අමතමින් කල ප්‍රකාශය සිදු කරමින් මම නිහඬ වෙන්නම්. “අද මට දසතින් නැගෙන චෝදනා ඉතිහාසයේ කුණු කූඩයට ඇද වැටී අනාගතය විසින් මා නිදහස් කරනු ඇත. එම දිනය උදාවන තෙක් මම උපේක්ෂාවෙන් බලා සිටිමි”.
– media unit