රට පුරා බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරන, “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව ”ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (01) සිදු කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, කළුතර දකුණ ”ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමෙන් මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.
මෙයට සමගාමීව ගාල්ල – අක්මීමන, හම්බන්තොට – ඕමාර, කෑගල්ල – දෙහිඕවිට, ගම්පහ – සූරියපාළුව, බදුල්ල-ගැමුණුපුර, නුව එළිය – පිටවල සහ පොළොන්නරුව හිඟුරක්ගොඩ CP පුර යන ප්‍රදේශවල ද ”ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අද මුල්ගල් තැබීම සිදු වුණා.
“ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන වැඩසටහන මගින් සෑම පුරවැසියෙකුටම පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක සහ ජනතා කේන්ද්‍රීය ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරෙනවා.
මෙම මධ්‍යස්ථාන හරහා නව තොරතුරු තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අද දින මුල්ගල් තබන ලද ” ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථාන 10 ඉදිකිරීම් මෙම වසරේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වසරේ ඔක්තෝබර් වන විට තවත් මධ්‍යස්ථාන 25 ක ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
එක් ” ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථානයක ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන් කර තිබේ. 2026 සිට 2028 දක්වා කාල සීමාව තුළ අදියර ගතව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම නියමිතව තිබෙනවා.













