ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස සැලකෙන මොහොමඩ් ෆවුසි හිදායා නොහොත් ”ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා” මේ වන විටත් දේපළ අත්හැර පලාගොස් තිබෙනවා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදවා අත්පත් කරගෙන ඇති බව අනාවරණය වූ රුපියල් කෝටි 5.7කට අධික දළ වටිනාකමකින් යුත් දේපළ දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමටයි නියෝග කර ඇත්තේ.
පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයක දී, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆවුසි හිදායා සහ ඔහුගේ සමීපතමයන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා දේපළ හා වත්කම් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව, 2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
විමර්ශනවලදී වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පර්චස් 20ක පමණ ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 5ක පමණ දළ වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගපේ ප්‍රදේශයේ පර්චස් 9.5ක පමණ ඉඩමක් සමඟ පිහිටි නිවසක් හා කඩකාමරයක් ද නීතිවිරෝධී ආදායම් යොදවා අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ.
එම දෙවන දේපළේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බව ද සඳහන්.
මෙම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ විසින් දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති අතර, පනතේ 8(2) වගන්තිය යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 8(1) වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.
මේ අතර, සැකකරුවන් මේ වන විට ප්‍රදේශය හැරගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.













