දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් අද (22) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කථානායකවරයා සිදුකළ දැනුම්දීම පහතින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.
පනත් කෙටුම්පතේ 3, 4, 6(4) සහ 6(5) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එම වගන්ති සම්මත කළ හැකිය.
පනත් කෙටුම්පතේ 6(7) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවලට අනනුකූල වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ බහුතරයකින් පමණක් එය නීත්‍යානුකූලව සම්මත කළ හැකිය.
පනත් කෙටුම්පතේ 7 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. එබැවින් 81(ඉ) වගන්තිය පරිච්ඡින්න කිරීමට යෝජිත ප්රතිපාදනය ඉවත් කර ගත යුතුය. 7 වන වගන්තිය එහි දැනට පවතින ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ නම්, එය නීත්‍යානුකූලව සම්මත කළහැකි වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 84(2) ව්‍යවස්ථාව මගින් නියම කර ඇති විශේෂ බහුතරයකින් පමණකි.
88(1)(ඊ) වගන්තිය යෝජනා කරන පනත් කෙටුම්පතේ 11(1) වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හෝ 14අ(1) ව්‍යවස්ථාවලට අනනුකූල නොවන අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකිය.
කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට යෝජනා කර ඇති පරිදි පනත් කෙටුම්පතේ 11(2) වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(අ) හෝ 14අ ව්‍යවස්ථාවලට අනනුකූල නොවන අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකිය.
පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාවට අනනුකූල වේ. 13(2) ව්‍යවස්ථාව ද එම නිගමනය තහවුරු කරයි. ඒ අනුව, 17 වන වගන්තිය එහි දැනට පවතින ආකාරයෙන් නීතියක් බවට පත්විය හැක්කේ, 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතරයකින් එය සම්මත කොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ද ඊට ලැබුණහොත් පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි













