නියෝජ්‍ය කථානායක ඇතුළු පිරිසක් පාකිස්ථානයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පකිස්ථානයේ කරච්චි නුවර පැවති 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය සමුළුවට සහභාගී වෙති

නියෝජ්‍ය කථානායක, වෛද්‍ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, පසුගිය 03 වැනිදා සිට 07 දක්වා පකිස්ථානයේ කරච්චි නුවර පැවති 07 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය සමුළුව, 2 වන ඒකාබද්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කඳවුරට සහ නැගෙනහිර ආසියානු
කලාපීය සමුළුවට සහභාගී වුණා.

පකිස්තානයේ සින්ද් පළාත් සභාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම සමුළුව ‘අනාගතයේ පාර්ලිමේන්තු; විශ්වාසය, සියලුදෙනාටම අවස්ථාවන් ලබාදීම, නවෝත්පාදනය සහ සාමය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නැවත අර්ථ දැක්වීම’ යන තේමාව ඔස්සේ පැවැත්වුණා.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ, සුජීව දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන පිරිසද මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වුණා.

එමෙන්ම මෙම සමුළුවට පකිස්ථානය, මාලදිවයින සහ මැලේසියාව මෙන්ම පළාත් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් කිහිපයක නියෝජිතයින් ද ඇතුළුව ආසියානු රටවල සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගීව සිටියා.

“සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය: සංහිඳියාව සඳහා පාර්ලිමේන්තු” යන මැයෙන් පැවති පළමු සැසිවාරයේදී මෙරට නියෝජ්‍ය කථානායක, වෛද්‍ය රිස්වි සාලි මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝගවලින් පසු ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය නැවත ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සඳහන් කළා.

විනිවිදභාවය, අධීක්ෂණ කාරක සභා, දූෂණ විරෝධී යාන්ත්‍රණ සහ තරුණ සහභාගීත්වය තුළින් සාකච්ඡා සහ සංවාදය ප්‍රවර්ධනය කරන සහ වගවීම ශක්තිමත් කරන ආයතන ලෙස නූතන පාර්ලිමේන්තු ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළා.

එසේම එය සංහිඳියාව,විශ්වාසය, කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය අත්තිවාරම බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇති කිරීම” යන මාතෘකාව යටතේ පැවති සැසියේදී, නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන රාමුව, ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්, තරුණ
පාර්ලිමේන්තු වැඩසටහන් සහ පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පැහැදිලි කළ අතර, පාසල් මට්ටමේ සිට වැඩිහිටි විය දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ පාර්ලිමේන්තු වගවීම පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැදගත්කම
අවධාරණය කර තිබෙනවා.

ගරු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ සුජීව දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු, සාමකාමී සමාජවල පෙරගමන්කරුවන් ලෙස පාර්ලිමේන්තු, ව්‍යාජ ප්‍රවෘත්ති, කෘතීම බුද්ධිය (AI) සහ වැරදි තොරතුරු වැඩිවීම, පැවැත්ම සඳහා නීති සම්පාදනය, දේශගුණික ප්‍රතිරෝධී හැකියාව සහ අවදානම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, තාක්ෂණය සහ විශ්වාසය, මාර්ගගත ප්‍රචණ්ඩත්වයෙන් සහ ඩිජිටල් අවකාශයේ හිංසනයන්ගෙන්
කාන්තා නායිකාවන් ආරක්ෂා කිරීම යන මාතෘකා යටතේ සැසිවාරවලට සහභාගී වෙමින් සිය දායකත්වයන් ලබා දුන්නා.

සමාප්ති උත්සවයේදී, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ස්තූති කතාව පවත්වමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපයට, CPA සින්ද් ශාඛාවට සහ පකිස්ථාන පාර්ලිමේන්තුවට ඔවුන්ගේ උණුසුම් ආගන්තුක සත්කාර සහ සංවිධාන ශක්තිය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. මෙම සමුළුව, සංවාදය සහ අත්දැකිීම් හුවමාරුව සඳහා වටිනා වේදිකාවක් සපයමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමේදී ශක්තිමත් පාර්ලිමේන්තුවල වැදගත්කම නැවත තහවුරු කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ද නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කළා.

සහභාගී වූ නියෝජිතයෝ කරච්චි ප්‍රකාශනය සම්මත කර ගැනීමෙන් සමුළුව අවසන් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමයබව, පාර්ලිමේන්තු වගවීම, සියලු දෙනාහට අවස්ථාව ලබා දීම, නවෝත්පාදනය සහ තිරසාර සාමය සඳහා කැපවීම නැවත තහවුරු කෙරුණා.

එසේම මහජන විශ්වාසය පහත වැටීම, ව්‍යාජ තොරතුරු සංසරණය සහ දේශගුණික අවදානම වළක්වා ගැනීම මෙන්ම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා තාක්ෂණික දියුණුව ඇති කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?