එළැඹෙන මැයි මාසයේදී ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන් ගන්නවා. ඒ වගේම තවත් අලුත් වේදිකා නාට්‍යක පුහුණුවීම් පටන් ගන්නවා. එය අධ්‍යක්ෂණය කරන්නෙ හෙක්ටර් කුමාරසිරි කියන වේදිකා නාට්‍ය නිර්මාණකරුවා. ඊට අමතර ඉතින් තවත් චිත්‍රපට දෙකක වැඩ තිබුණා. කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ වැඩ කල් ගියා. කලා කටයුතුවල නියැළෙන ගමන්, ඒත් එක්කම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මගේ සුපුරුදු රැකියාවේ නියැළෙන ගමන්, මවක්, බිරියක් විධියටත් සාර්ථකව වැඩ කරගෙන යනවා.
රැකියාවකත් නියැළිලා, මවක්, බිරියක් විධියටත් පවුලක් ඇතුළේ වගකීම් සහගත වුණාම නිළියකට තමන්ගේ නිළිකම ඇතුළේ පූර්ණ විභවතාව ඉස්මතු කරගන්න පුළුවන්ද?
මම කියන්නේ එතැන තියෙන්නෙ කළමනාකරණය. මම දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවුරුදු හතක් තිස්සේ වැඩ. කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ.
ඒ වගේම මගේ දුවට මාස හයක් හතක් තියෙද්දී තමයි මම ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට යන්නේ. මගේ දුවට ඒ වයස වෙද්දීම මම මේ දේවල් හොඳින් කළමනාකරණය කළා. සමහර පුහුණුවීම්වලට යද්දි මම මගේ දුවව අරගෙන යනවා. මට අතට පයට සේවකයෝ නැහැ. දරුවාගේ කෑම ලෑස්ති කරලා උදේට පෙර පාසලටත් දාලා තමයි මම ඔෆිස් එකට යන්නේ. එයාගේ හැමදේම කෙරෙන්නේ මගේ අතින්. තවත් අතකට මම රූගත කිරීම්වලට යද්දි එයාව එක්කගෙන යන එක දැන් එයාටත් අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. එයත් ඒවට ගිහිල්ලා කලාව ඉගෙන ගන්නවා. කලාව දිහා බලන් ඉන්නවා. මට ඒක ලොකු සතුටක්. ඉතින් හැමදේම හොඳින් කළමනාකරණය කර ගන්න පුළුවන් වුණා කියන හැඟීම මගේ හිත ඇතුළේ තියෙනවා. කොහොමත් මේක මට ටිකක් වැඩිපුර වැඩ එන කාලයක්. මට හැම වැඩකටම ඔව් කියන්න බැරි වුණත් කාලය උපරිම වශයෙන් කළමනාකරණය කරගෙන මම කරන වැඩවලට උපරිම විභවතාවය දෙනවා. මම කියන්නේ වැඩ එකක් නෙමෙයි, දහයක් කළත් කළමනාකරණය දන්නවා නම් ඕනෑම කෙනෙක්ට තමන්ගේ කලාව තුළ පූර්ණ විභවතාව ළඟාකර ගන්න පුළුවන්.
සමාජය පිළිබඳව දැනුවත් වීම සහ සවිඥානික වීම කියන කාරණාව මේ යුගයේදී කලාකරුවකුට තමන්ගේ පැවැත්ම සඳහා කොයි තරම් දුරට වැදගත් වෙනවාද?
මම කියන්නේ සමාජය පිළිබඳ දැනුවත් වීම සහ සමාජයට සවිඥානික වීම කියන කාරණාව කලාකරුවකුට විතරක් නෙමෙයි මේ රටේ ඕනම ඕනෑම පුරවැසියකුට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැදගත්. දැනුවත් පුරවැසියෙක් වෙන එක මේ යුගයේදී අත්‍යවශ්‍ය කාරණාවක්. තමන්ගේ පෞද්ගලික ජීවිතයෙන් පටන් ගත්තම පවුල තුළ, ආයතනය තුළ, ගම තුළ, රට තුළ හරියාකාරව ජීවත් වෙන්න සමාජ සවිඥානිකත්වය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම කලාකරුවෙක්ට සමාජ සවිඥානිකත්වය තිබ්බොත් තමයි එය තමන්ගෙ කලාව භාවිතයට පහසුවක් වෙන්න. ඕනෑම වර්ගයේ නිර්මාණයකට ඔව් කියන්නෙ නැතිව නිසි තෝරාගැනීම් කරන්න පහසුවක් වෙන්නේ. තමන්ගේ ප්‍රකාශනය කොහොම කරනවද කියලා අවබෝධ කරගන්න පහසුවක් වෙන්නෙ. තමන් සමාජය තුළ කොහොම ප්‍රතිරූපයක් සමඟ පෙනී සිටිනවාද කියලා අවබෝධ කර ගන්න පහසුවක් වෙන්නේ. දැන් ඉන්න කලාකරුවෝ ගොඩකට තමන් පෙනී ඉන්න ඕනේ මොකක් වෙනුවෙන්ද කියන එක අමතක වෙලා තියෙනවා. ඒක වෙලා තියෙනවා සමාජ සවිඥානිකත්වය, සමාජ පිළිබඳ දැනුවත්භාවය නැතිකම හින්දා. කලාව කියන්නේ මේ සමාජයට යමක් දෙන්න නිර්මාණය වෙච්ච දෙයක්. අපිට සමාජයේ ගැන දැනුවත්භාවයක් නැතිව කොහොමද ඉතින් ඒ වැඩේ කරන්නේ?
ඇතැම් නවක නළු නිළියන්ගේ රංගනය අද දෙබස් කියැවීම කියන තැනට පමණක් සීමා වෙලා තියෙනවා නේද?
මට රංගනය පිළිබඳ න්‍යායාත්මක හැදෑරීමක් විශ්වවිද්‍යාලය තුළ නැහැ. මගේ උපාධිය තියෙන්නේ ජන සන්නිවේදනය සම්බන්ධව. මම රංගනය ඉගෙන ගත්තෙ නාට්‍ය වැඩමුළුවලට ගිහිල්ලා. චිත්‍රපට බලන්න ගිහිල්ලා. නාට්‍ය බලන්න ගිහිල්ලා. පිටරට නාට්‍යකරුවො මෙහෙට ඇවිල්ලා කරපු නිර්මාණය දිහා බලන් ඉඳලා. තවත් සරලව කිව්වොත් මම රංගනය ඉගෙන ගත්තෙ ජීවන අත්දැකීම් පදනම් කරගෙන. ඉතින් මම ඉගෙන ගත්තු, මම දන්න රංගනය ඇතුළේ දෙබස් කියැවීම කියන්නේ හරි පොඩි කෑල්ලක් විතරයි. ඇත්තටම රඟපානවා කියන්නේ දෙබස් කියැවීම නෙවෙයි. අපි අද රූපවාහිනිය නැරඹුවොත් බොහොමයක් ටෙලි නිර්මාණවල ඉන්න නළු නිළියො රංගනය කියලා කරන්නේ දෙබස් කියැවීම. ඒවට ඉතින් ඒ නළු නිළියන්ට විතරක් ෙදාස් නඟලා වැඩකුත් නෑ. එයාලාව මේකට ගේන්නේ තවත් කවුරුහරි නිර්මාණකරුවෙක්නේ. අන්න ඒ අය තමයි මේවට වගකිව යුතු පාර්ශ්ව වෙන්නේ. මම දැකලා තියෙනවා සමහර නවකයෝ වැඩකට සම්බන්ධ වුණාම කියනවා අපෝ මේකෙ මට කියන්න දෙබස් නෑනේ කියලා. මම හිනා වෙනවා. සමහරු රඟපාන්න එන්නෙම දෙබස් කියවන්න බලාගෙන. කෙනකුට පුළුවන් නම් කිසිම දෙබසක් කියන්නේ නැතිව තමන්ගේ භාව ප්‍රකාශනවලින් රංගනයක් ඉදිරිපත් කරන්න මං හිතන්නේ ඒක තමයි නළුකම කියන්නේ. හැබැයි අවාසනාවකට අද එහෙම පුළුවන් අය අඩුයි. වෘත්තීයමයභාවයකින් කලාව කරන අය අද අඩුයි.
ගස් වටේ දුවන බොළඳ පෙම්වතියගේ චරිතය තුළ ඔබ දකින්නට නොලැබෙන නිසා, සුලෝචනාට පෙම්වතියගේ චරිතය කරන්න ලැබිලා නැහැ කියලා බොහෝ අය කියනවා. මල් ගවුම් අඳින, ගස් වටේ දුවන ස්ත්‍රියක් තුළට පමණක් පෙම්වතිය කියන චරිතය ලඝු කිරීම සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?
ඕවා ඉතින් ප්‍රේමය පිළිබඳ එකිනෙකාගේ කියැවීම තමයි. ගොඩක් ප්‍රේමණීය කතාවල පෙම්වතිය කියලා අඳුරගන්නේ හරි සීනි බෝලේ චරිතයක්නේ. මල් ගවුමක් අඳින සීනිබෝල ස්ත්‍රියක් ඇතුළෙන් විතරයි ගොඩක් අය පෙම්වතියගේ චරිතය දකින්නේ. මම රඟපාපු ‘නිකිණි වැස්ස’ චිත්‍රපටයේ ප්‍රේමය මතුවෙන තැන් තිබුණා. ඒක හරි සුළුතර පිරිසක් තමයි අදුරගත්තේ. තිරය තුළින් මල් වත්තක නටලා, චොකලට් එකක් හුවමාරු කරලා ප්‍රේමය ප්‍රකාශනය කළොත් විතරයි මිනිස්සු මේක ප්‍රේමය කියලා අදුර ගන්නේ. මට ඒ ගැන දුකක් නෑ. හැබැයි මම කියන්නේ ඊට වඩා ගැඹුරු තැනකින් ප්‍රේමය විග්‍රහ කරගන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වෙන්න ඕනේ. පෙම්වතියගේ චරිතය සුපුරුදු සීනිබෝල ආකෘතිය නැතිව ගැඹුරු තැනකින් ඉස්මතු කරන්න නිර්මාණකරුවන් වුණත් වගබලා ගන්න ඕන. මම ප්‍රේම කරලා තියෙනවා. පෙම්වතියගේ චරිතය හරියට නිර්වචනය කරගත්ත අය ඒක දැකලා තියෙනවා.
නිකිණි වැස්ස වැනි චිත්‍රපටවල ලිංගික දර්ශනවල ඔබට රඟදැක්වීම් කරන්න සිද්ධ වෙනවා. එවැනි රඟ දැක්වීම්වලින් පසුව නිළියන්ව ප්‍රේක්ෂකයන් අර්ථකථනය කරන විධියෙ පොඩි ගැටලුවක් තියෙනවා නේද? එය පැවැත්මට හානිකර නැද්ද?
මං කියන්නේ මිනිස්සු ප්‍රශ්න අහන්නේ, විවේචන කරන්නේ අදාළ සිද්ධිය එයාලට ගෝචර වෙන විදිහට. ඒ හින්දා මම කැමැති නැහැ ඔය දේවල් ගැන කතා කරන්නවත්. මම එතැන යෙදුණෙ රංගනයක. එතැන මම සම්බන්ධ වන්නේ නිර්මාණයකට. ඉතින් මම කියන්නේ නිර්මාණය ඇතුළෙ තියෙන දේවල් ඒකෙන් ගලවලා පිටතට ගන්න හදන එකම තමයි අවුල. අපි රංගනයේ යෙදුණම වෙන්න ඕන ඒකෙන් යම් යහපත් සමාජයේ බලපෑමක් සිද්ධ වෙන එක. එතැනින් එහාට සුලෝචනාගේ කකුල පෙනුණද, සුලෝචනාගේ පියයුරු පෙනුණද, සුලෝචනා ලිප් කිස් කළාද වගේ පටු කාරණා කතාබහට ලක් විය යුතු නෑ. විදේශීය නිර්මාණ ගත්තොත් ඔය වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. ඕනෑ තරම් ලිංගික දර්ශනවල නළු නිළි රඟපානවා. ඒ රටවල මිනිස්සු අහන්නෙ නෑ ඔයා කකුල පෙන්නුවා නේද, පියයුරු පෙන්නුවා නේද, ලිප් කිස් කළා නේද කියලා. මම කියන්නේ තමන් කරන වැඩේ ගැන ඕනෑම කෙනෙක්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. තමන්ට අවුලක් නැත්නම්, වැඩේ අවබෝධයෙන් කරනවා නම් කිසිම දැනුවත්භාවයක් නැතිව බොරුවට කියවන මිනිස්සුන්ට උත්තරපත්‍ර බඳින්න යන්නෙ නැතිවත් ඉන්න ඕන. අපි ඇත්තටම බය වෙන්න ඕනේ අපි කැමරාවෙන් පිටත ඇත්ත ජීවිතයේදී අවුල් නම් විතරයි. කැමරාව ඇතුළෙ අවුල් වගේම අවුල් නැති චරිතත් භාරගෙන ඕනෑම විදිහෙ රංගනයක් ඉදිරිපත් කරන්න නළුවකුට, නිළියකට පුළුවන් වෙන්න ඕනෑ.
සම්මාන බලාගෙන වැඩ කිරීම සහ වැඩ කළාම සම්මාන ලැබීම කියන කාරණා දෙක අතර පරතරය සම්මානනීය නිළියක් ලෙස ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?
මම කිසිම දවසක සම්මාන ගන්න බලාගෙන වැඩ කරලා නැහැ. මම සම්මාන ගන්නවාමයි කියලා බලාගෙන කවුරුහරි වැඩ කරනවානම් එහෙම ගන්නෙ කොහොමද කියලත් මම දන්නෙ නැහැ. මට සමහර නිර්මාණවලට කතා කරලම තියෙනවා අපි මේක සම්මානයක් ගන්න බලාගෙන කරමු කියලා. එහෙම කතා කරපු නිර්මාණවලට සම්මාන ලැබිලත් තියෙනවා. හැබැයි ඒ මම සම්මාන ඉලක්ක කරගෙන වැඩ කරපු නිසා නෙවෙයි. මගේ උපරිමය ලබා දීලා, කරන වැඩේ හරියටම කරපු නිසා. අනෙක් එක මං විශ්වාස කරන්නේ සම්මාන උළෙලවල්වලට අපි නිර්දේශ වෙලා කෝල් එකක් ගන්න ඕනෙම නැහැ සම්මානලාභීයි කියලා හිතන්න. අපි හිතට එකඟව හරියට වැඩක් කළාම ජනතාව ඒක වැලඳ ගන්නවා නම්, ප්‍රේක්ෂකයාට ඒක දැනෙනවා නම් ඒකත් සම්මානයක් තමයි. සමාජය අපිට ජනතා සම්මාන කොහොමත් දෙනවා හරියට වැඩක් කළොත්.
මෙරට සම්මාන උළෙලවල්වල ජනප්‍රියතම නළුවා සහ නිළිය තෝරාගනිද්දී භාවිත කරන ක්‍රමවේදයන් සම්බන්ධව පසුගිය කාලයේදී කතා බහක් ඇතිවුණා. ඇත්තටම ජනප්‍රිය කැටගරියේ තෝරාගැනීම් සිදුකරද්දී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැද්ද?
සම්මාන උළෙලවල්වල ජනප්‍රියම නළුවා සහ නිළිය තෝරද්දී එතැන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. මොකද අපි දැකල තියෙනවා ඕන තරම් නළු නිළියො තමන්ටම SMS ගහගෙන ඔය සම්මානය ගන්න හැටි. ඒකට ඉතිහාසය තුළ වුණත් ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එක මට කියන්න බැහැ. ඒක තීරණය කරන්න ඕනේ අදාළ පාර්ශ්වම තමයි. මම මේ මෑතකදී මගේ මිත්‍ර පිරිසක් එක්ක ඔය වගේ සම්මාන උළෙලකට ගියා. ඒකේ ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස තේරී පත්වුණ දෙන්නව ඇත්තටම මම හදුනන්නේ නැහැ. ටෙලිවිෂන් එකේ ඉන්නවද කියලවත් දන්නේ නෑ. මාත් එක්ක ගිය අනෙක් පිරිසත් දන්නෙ නැහැ. හැබැයි ලේබල් එක ජනප්‍රියම නළුවා සහ නිළිය. සමහරවිට ඒක ටෙලිවිෂනය නොබලන අපේ උෟනතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔය තේරීම කරන ක්‍රමවේදය ඇතුළෙ තමන්ටම SMS කරගෙන, තමන්ටම Campaign කරගෙන ඕනම කෙනෙක්ට ජනප්‍රියම නළුවා සහ නිළිය වෙන්න පුළුවන්.
වෘත්තීය ස්ථාවරත්වය, ජීවන අරගලය වැනි සංවේදී සාධක පදනම් කරගෙන ඇතැම් කලාකරුවන්ට තමන්ගේ දේශපාලන මතවාදය පවා වෙනස් කරන්න වෙන තත්ත්වයක් වර්තමානයේ උද්ගතව තිබෙනවා. මේ තත්ත්වය ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
මේ වගේ සංවේදී කාරණා නිසා දේශපාලන මතය වෙනස් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතිහාසයේ ඕනෑතරම් අය මේ තත්ත්වයට මුහුණ දීලත් තියෙනවා. මොන දේ කළත් අත්‍යවශ්‍යම දේ ජීවත් වෙන එකනේ. මොන දේවල් කළත් හවසට ගෙදර යද්දි දරුවො බඩගින්නේ නම් එතැන ගැටලුවක් තියෙනවා. ඉතින් එහෙම කරන මිනිස්සුන්ට වැරැද්දක් කියන්නත් බෑ. අනෙක් එක ඒ මිනිසුන්ගේ ආර්ථික අවශ්‍යතා, ජීවන අවශ්‍යතා අපිට විග්‍රහ කරන් බැහැනේ. මුදල් පදනම් කරගෙන තමන්ගේ දේශපාලන මත වෙනස් කිරීම සම්බන්ධව මම කලාකරුවන්ට විවේචන එල්ල කරන්නේ නැහැ. මොකද මේකේ ඇතුළේ කොහොමත් පරමාදර්ශී අය කියලා කට්ටියක් නැහැ. ඔක්කොම කළුත් නැති සුදුත් නැති අළු චරිත. කලාව තුළ පවතින දේශපාලන ආධිපත්‍යයත් එක්ක සමහර තැන්වල පොදුවේ හිතලා තීරණ ගන්න බෑ. පුද්ගලානුබද්ධ තීරණ තමයි බොහෝ අය ගන්නේ. ඉතින් සමහරු අවම ජීවිතයක් ගත කරලා තමන්ගේ ප්‍රතිපත්ති ඒ විධියටම තියාගන්නවා. සමහරු සුඛවිහරණ සඳහා තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙනවා. අපිත් එකෙන්ම වැරැද්දක් නෑ. පෞද්ගලිකව මගේ පැත්තෙන් කිව්වොත් මම කිසිම දේශපාලන පක්ෂයකට මේ වෙනකන් කඩේ ගිහින් නෑ. සුඛවිහරණ උදෙසා මම ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ. ඒක මගේ තීරණය. මම එහෙම කරන අයව විවේචනය කරන්නෙත් නෑ.
නළු නිළියන්ගේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය සම්බන්ධව ප්‍රේක්ෂක මට්ටමෙන් විවිධ විවේචන තියෙනවා. කලාකරුවන් සමාජ මාධ්‍ය ජාලාවල ආරක්ෂා කරගත යුතු තරු ගුණය සම්බන්ධව ඔබට අදහසක් තියෙනවද?
සමාජ ජාලාවල මේන්ටේන් වෙන්න ඕන කරන තරු ගුණයක් ගැන මම නම් විශ්වාස කරන්නෙ නෑ. පෞද්ගලික මගේ පැත්තෙන් ගත්තොත් මම නම් ෆේස්බුක් එකේ හරිම සාමාන්‍ය චරිතයක්. කොහොමත් මම හැමවෙලාවෙම මේකප් දාගෙන ඉන්න ගැහැනියක් නෙමෙයි. මම මගේ තරු ගුණය මේන්ටේන් කරන්නෙ මට ලැබෙන නිර්මාණවලින් මිසක් සමාජ මාධ්‍ය ජාලා තුළ නොවේ. මේකප් එකක් දාලා සෙල්ෆි එකක් අරගෙන good morning friends, good night friends කියලා පෝස්ට් අප්ඩේට් කරන ජාතියෙ වැඩ මගේ ළඟ නැහැ. මට අද වුණත් බස් එකේ යන්න පුළුවන්. හරිම සරල විධියට ඇත්ත ජීවිතෙත්, සමාජ ජාලාවලත් මට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම ආයෙත් කියන්නේ සෝෂල් මීඩියාවල මේන්ටේන් වෙන්න ඕන කරන තරු ගුණය ගැන මට අදහසක් නැහැ. සමාජයට විහිළුවක් නොවී සමාජ මාධ්‍ය ජාලාවල හැසිරෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි වැදගත් දේ වෙන්නේ.
මව්බිම – හඳගැස්ම