ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආරම්භ වීමට පෙර මෙරට ආණ්ඩුක්‍රමය සැකසී තිබුණේ යටත් විජිතකරණයන්ට අනුකූල ව වන අතර පුරවැසියාගේ පරමාධිපත්‍යය බලයෙහි වටිනාකම තවදුරටත් නීතිමය වශයෙන් තහවුරු වූයේ වර්ෂ 1972 දී ය.
ඊට හේතුව වනුයේ වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍යය කිරීටයෙන් මෙරටට නිදහස හිමිවූව ද, එය පූර්ණ නිදහසක් නොවීම යි.
මෙරට සිටි පුරවැසියාට සර්වජන ඡන්ද අයිතිය ඩොනමෝර් සාමිවරයාගේ යටතේ පැවති ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් හිමිවුණ ද, සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ මෙරට පළමු මහ මැතිවරණය අග්‍රාණ්ඩුකාර ධුරයක් පෙරදැරි කරගනිමින් පැවැත්වුණා.
දේශපාලනික සහ අධිකරණමය වශයෙන් පූර්ණ බලයක් මෙරට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට නොලැබුණු අතර ඩොනමෝර් ක්‍රමය යටතේ පළමු වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව පත් වූ අතර එය 1931 ජුනි 13 සිට 1931 ජුනි 20 තෙක් දින 07ක කාලයක් රාජ්‍ය මන්ත්‍රණ සභාව තෝරා ගැනීම සඳහා පැවැත්වුණා.
එය මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු මහ මැතිවරණය වුණ ද සුළු ජාතීන්ට සිය ඡන්ද අයිතිය එතුළින් හිමි වූයේ නැහැ.
ඉන් අනතුරුව 1936 පෙබරවාරි 22 සිට 1936 මාර්තු 07 තෙක් දින 11 කාලයක් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව තෝරා පත් කරගැනීම සඳහා වන මහ මැතිවරණය පැවැත්වුණු අතර එහිදී ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සිතූ තරම් පූර්ණ දේශපාලනික බලයක් හිමිවූයේ නැහැ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මැතිවරණ සම්ප්‍රදායන්ට අනුකූල ව යමින් වර්ෂ 1947 අගෝස්තු 23 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කරගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වුණා.
එහිදී ආසන 48ක බලයක් සිය පක්ෂයට දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ජයගත් අතර මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායක මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතා දිවුරුම් දුන්නා.
එවක ආණ්ඩු බලයක් පිහිටුවීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ආසන 95න් 48ක් දිනා ගැනීම අත්‍යවශ්‍ය වූ අතර එහි දී බහුතර බලයක් දිනා ගැනීමට එජාපයට නොහැකි වුණා.
බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුව ද, දෙමළ ප්‍රදේශවල ආසනවලින් වැඩිම ප්‍රමාණයක් දිනාගත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග සන්ධානගත වීමෙන් ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය එවකට සමත් වීම ද කැපී පෙනෙන ලක්ෂණයක්.
මෙරට අර්ධ නිදහස් රාජ්‍ය ක්‍රමයක් යටතේ (ඩොමීනියන්) 3,048,145 ක් වූ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ඡන්ද භාවිතයෙන් එම මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූයේ 56.10%ක්.
බ්‍රිතාන්‍යය මෙරට හමුදා කඳවුරු පවත්වා ගෙන ගිය අතර ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස පැවතෙමින් පාලන පද්ධතියේ බොහෝ කොටස් බ්‍රිතාන්‍ය නිලධාරීන් සමග ම බ්‍රිතාන්‍යය බලාධිකාරිය තුළ ම පැවතුණා.
කෙසේවෙතත් මහජන ඡන්දයෙන් පළමු වරට පාර්ලිමේන්තුවකට මහජන නියෝජිතයන් නිසි පරිදි තේරී පත්වූයේ මෙම මැතිවරණයේ දියි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ජනතාවට හිමි පරමාධිපත්‍ය බලයට ඡන්ද බලය ද ඇතුළත් වන බවත් එහි 4 (අ) වගන්තියට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගන්නා ලද මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ය.
ඒ අනුවයි අද (14) දිනයේ දී 10 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණය මහජන නියෝජිතයින් 225 දෙනෙකු මැතිවරණ කොට්ඨාස මට්ටමින් තෝරා පත් කරගැනීමට පැවැත්වෙන්නේ.
අතීත පාර්ලිමේන්තු ඉතිහාසය සිහිපත් කරමින් බොහෝ ක්‍රමවේද වෙනස් වී තිබුණ ද; එදවස පැවති සරල බහුතර නියෝජිත ක්‍රමය ඉවත දා සමානුපාතික නියෝජන ක්‍රමය ඔස්සේ අපේක්ෂකයින් තෝරා ගැනීම සිදු කෙරෙනවා.
මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයින් 8361 දෙනෙකු තරග කරන අතර එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරදෙනෙකු ඡන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් පැවැත්වෙන මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම මධ්‍යස්ථාන 54ක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඡන්දය සලකුණු කිරීමේ මධ්‍යස්ථාන මෙවර 13,314ක් ස්ථාපති කර තිබෙන අතර දිවයින පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් ඒ සඳහා යොදා තිබීම ද දැකිය හැකියි.
රටකට මැතිවරණයක් අවශ්‍ය වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට තිබෙන්නට පුළුවන්.
වර්තමානයේ බොහෝ රවල්වල ක්‍රියාත්මක වන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වන අතර එහි දී අප විසින් අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා නිශ්චිත කාලවකවානුවකට ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කර ගනු ලබනවා.
රටක ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කිරීමේ ප්‍රබලතම සාධකය වන්නේ මැතිවරණය නිසි කලකට පැවැත්වීමයි.
එතුළින් කලින් කලට ජනතාවගේ වෙනස් වන මහජන මතය තීරණය කළ හැකි වනවා.
වර්ෂ 1833 දී මෙරට පළමු වරට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබුවා.
ඉන් අනතුරුව මෙරට පුරවැසියන්ට සීමිත ඡන්ද බලයක් 1911 මැනිං ආණ්ඩුක්‍රමය හරහා හිමිවන අතර 1921 දී පළමු වරට ඡන්ද කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම සිදු කෙරුණා.
1924 මැනිං – ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමයෙන් නිලලත් නියෝජිතයන්ට වඩා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි වීම සිදු වුණු අතර 1931 දී වයස අවුරුදු 21ට වැඩි ලාංකිකයින්ට පළමු වරට සර්වජන ඡන්ද බලය හිමිවුණා.
1947 දී මෙරට පළමු ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබුවා.
පළමු වරට සියලු මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගැනීම 1972 දී සිදු වුණු අතර 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රමය හරහා (පූර්ණ නිදහස හිමිවීමෙන්) සමානුපාතික නියෝජන ක්‍රමය ඔස්සේ මහජන නියෝජිතයින් තෝරා ගැනීම සිදු කෙරුණා.
1978 දී හඳුන්වා දුන් වර්තමානය දක්වා ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ එතෙක් ව්‍යවස්ථාදායකය තෝරා ගැනීමට භාවිත කළ සරල බහුතර මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන් අතර මෙතෙක් එක් එක් ඡන්ද කොට්ඨාස මට්ටමින් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කළ ක්‍රමය වෙනුවට පක්ෂ විසින් මැතිවරණ කොට්ඨාසය (මැතිවරණ දිස්ත්‍රික්කය) තුළ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාවට අනුපාතයක් ලෙස මන්ත්‍රී ධුර බෙදී යාමේ ක්‍රමවේදයක් මෙතුළින් හඳුන්වා දුන්නා.
එක් එක් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව මන්ත්‍රී ධුර බෙදී යන නිසා සියලු ඡන්දවලට වටිනාකමක් තිබෙන බවයි පිළිගැනීම වන්නේ.
මන්ත්‍රී ධුර අනුපාතයක් ලෙස තේරීම නිසා පෙර පැවති ක්‍රමවේදයේ මෙන් විශාල බලයක් සහිත ආණ්ඩු බිහි විම වළක්වාලීමට ද මෙම ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා.
1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලබා ගත්තේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදීමට පළමුව පැවති සරල බහුතර ක්‍රමය යටතේයි.
මැතිවරණ දිස්ත්‍රික්කයක් තුළ මන්ත්‍රී අසුනක් දිනා ගත නොහැකි වුවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් දිවයිනේ ම ලබා ගත් ඡන්ද සංඛ්‍යාවන් සලකා බලන නිසා කුඩා පක්ෂවලට ද නියෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව මෙතුළින් හිමිවනවා.
ඡන්දදායකයාට සිය ඡන්දය ප්‍රකාශ කර මනාප ප්‍රකාශ කිරීම සඳහා පුළුල් ලැයිස්තුවක් හිමි වීමත් මෙම නියෝජන ක්‍රමයේ දී ඡන්දදායකයන්ට හිමිවන වාසියක්.
කෙසේ නමුත් මෙම ක්‍රමවේදයේ දී අපේක්ෂකයන්ට වඩා පක්ෂයට වැදගත්කමක් ලැබීම නිසා නාමයෝජනා ලබා ගැනීමේ දී සහ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වීමේ දී අපේක්ෂකයන්ට සහ තේරී පත්වන මන්ත්‍රීවරුන්ට අවාසිසහගත වීමේ හැකියාවක් ද පවතිනවා.
මේ වනවිට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් 225 දෙනෙකු තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ දී මහජනයාගේ සෘජු ඡන්දයෙන් නියෝජිතයින් 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙකු ද තේරී පත්වනවා.
සෘජු ඡන්දයෙන් තේරීපත්වන 196 දෙනාගෙන් මැතිවරණ කොට්ඨාස මට්ටමින් 160 දෙනෙකු සහ 36 දෙනෙකු පළාත් මට්ටමින් පළාතකට මන්ත්‍රී ධුර 04 බැගින් හිමිගැන්වෙනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වගන්තිය යටතේ මැතිවරණ කොට්ඨාසයකට [මැතිවරණ දිස්ත්‍රික්කයකට] හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කිරීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා.
ඒ සඳහා පළමුවෙන් ම පරිමිත ඡන්ද සංඛ්‍යාව හෙවත් මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සොයාගත යුතු වන අතර දිවයිනේ මුළු ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 160න් බෙදූ විට එන සංඛ්‍යාව ‘පරිමිත
ඡන්ද සංඛ්‍යාව’යි.
එක් එක් දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව එම පරිමිත සංඛ්‍යාවෙන් බෙදා මන්ත්‍රී ධුර 160 මැතිවරණ කොට්ඨාස 22ට බෙදා හරිනවා.
නොබෙදී ඉතිරි වූ මන්ත්‍රී ධුර නොබෙදුණු වැඩිම ඡන්ද හිමියන් ශේෂයක් සහිත දිස්ත්‍රික්කයට හිමි වනු ඇති.
යම් හෙයකින් එම ශේෂයන් සමාන වන අවස්ථාවක දී කුසපත් ඇදීමකින් මන්ත්‍රී ධුරය පිරිනමන දිස්ත්‍රික්කය තීරණය කරනු ඇති.
දිස්ත්‍රික්කයේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කරන්නේ එලෙස දිස්ත්‍රික්ක පදනමින් ලැබෙන මන්ත්‍රි ධුර සංඛ්‍යාව සහ පළාත් මට්ටමින් එම පළාතේ දිස්ත්‍රික්ක අතර මන්ත්‍රී ධුර බෙදී යන සංඛ්‍යාව සමඟ එකතු කිරීමෙන් බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ.