AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට දිනයේත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද (01)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පස් වන දිනටත් ආරම්භ වූණා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරීම අතිශය භයානක බව සඳහන් කළා.

ආරක්ෂක ලේකම්වරයා යනු ස්වාධීන පුද්ගලයකු නොවන අතර ඔහු නිතරම විෂය භාර අමාත්‍යවරයාගේ නියෝග මත කටයුතු කරන අයෙකු බවත් එවැනි නිලධාරියෙකු යටතට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය පැවරීම තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

එම නිසා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉවත්කොට අධිකරණය වෙත පැවරීමට කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ඒ තුළින් ස්වාධීන තීරණයක් අපේක්ෂා කළ වනු ඇති බවත් සඳහන් කර සිටියා.

එබැවින් මූලික අයිතිවාසිකම් වලට සෘජුවම බලපෑම් සිදු කරන මෙම පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවත් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය න්ම මහජන ආරක්‍ෂාව සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

මෙහිදී විනිසුරු නවාස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම පනත් කෙටුම්පත තුළින් ජනතා පරිමාධිපත්‍යය හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවන් චෝදනා නගා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ගෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා” පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන චෝදනා පිලිගන්න බෑ. වර්තමානයේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ලිහිල් පනත් කෙටුම්පතක් ලෙස මෙම පනත් කෙටුම්පත සදහන් කරන්න පුළුවන්. ජනතා පරමාධිපත්‍යය සුරැකීමේ විධායකයේ වගකීමක් බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම විධායකයේ වගකීමක්. ජනතාවගේ ජීවත් වීමේ මූලික අයිතිය ආරක්ෂා කිරීම මෙන්ම ජනතා පරමාධිපත්‍යය සුරැකීම සඳහායි රජය මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ.” යනුවෙන් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 31ක් ගොනුකර තිබෙනවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ. එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර සිටිනවා.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?