මත් ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ කොස්තාපල්ගෙන් පළිගත් පොලිස් ලොක්කෝ 04කට වැඩ වරදීයි

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස කළ බලපෑමකට අවනත නොවී ඒ සම්බන්ධ විමර්ශන සිදුකිරීමේ හේතුවෙන් පළිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩි.ඒ. පනාපිටියට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) තීන්දු කළා.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්.අමරසිරි, එවක කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන් එක්ව ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 20ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වුණා.

එම වන්දි මුදල් පෙරේදා (30) දින සිට මාස 06ක කාල සීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, රජය විසින් රුපියල් 25,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කළා.

“නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ බලය පොලිසිය වෙත පැවරී තිබේ. මහජනතාවගේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ පොලිසියයි. මෙම නඩුකරයේ මතුවූ කරුණු විශ්ලේෂණය කිරීමේ දී පොලිසියේ එම වගකීම ප්‍රශ්න සහගත වී තිබේ” යනුවෙන් සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙසත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝගකර සිටියා.

කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය සහ ඔහුගේ බිරිඳ වූ ගයාත්‍රී හේවාවසම් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ කොස්ගොඩ පොලිසියේ සේවය කළ තමා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ බවයි.

එම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙස වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල කළ බවත් එහෙත් තමා එම විමර්ශන දිගටම සිදුකළ බවත් පෙත්සම්කරු කියා සිටියා.

මේ හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන් තමන් සමඟ සතුරුකමක් ඇතිකරගත් බවත් ඔහු සඳහන් කළා.

2021 වසරේ නොවැම්බර් මස 02 වනදා සිය නිවසට ගිය වග උත්තරකාර පොලිස් නිලධාරින් තම බිරිඳ මාස නවයක් වයසැති දරුවාත් සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පැය 05ක පමණ කාලයක් රඳවාගෙන තමා මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයෙකු බවට ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවත් පෙත්සම්කරු කියා සිටියා.

පසුව මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් 2021 වසරේ නොවැම්බර් මස 03 බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමා මත්ද්‍රව්‍ය පානය කරන බවට කරුණු වාර්තා කළ අතර, ඒ සමගම තම වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා කියා සිටියා.

ඒ, අනුව තමා එම මස 10 වන අධිකරණයට භාර වූ බවත් ඉන් අනතුරුව අධිකරණය විසින් තමාව ඇපමත මුදාහැරීමට තීන්දු කළ අතර, තමා මත්ද්‍රව්‍ය පානය කරන් අයෙක් ද? යන්න තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් හා රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැදවීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ බවත් පෙත්සම්කරු සදහන් කළා.

එම නියෝගයට අදාළව අධිකරණ වෛද්‍ය වාර්තාව හා රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබුණු බවත් ඒ තුළින් තමා මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයකු නොවන බව කරුණු අනාවරණය කර තිබුණේ යැයි සඳහන් කළ පෙත්සම්කරු ඒ අනුව 2022 වසරේ මාර්තු මස 09 වනදා තමන්ව එම චෝදනාවලින් නිදහස් කෙරුණු බවත් කියා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම්කරුගේ බිරිඳ සහ ඔහුගේ මාස නවයක් වයස ඇති දරුවා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පැය පහක කාලයක් පොලිස් ස්ථානයේ රඳවා ගැනීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළා.

එසේම පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම, අසත්‍ය නඩු පැවරීම සහ ඔහුගේ වැඩ තහනම් කිරීම තුළින් වග උත්තරකාර සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරින් ද්වේශ සහගත ආකාරයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් අධිකරණය විසින් තීන්දු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48