AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ සඳ ගමන නිසා යළි කරළියට ආ සුප්‍රීම් සැට්

සඳේ දක්ෂිණ ධ්‍රැව කලාපයට සාර්ථක ගොඩ බැසීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙමින් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක වූයේ සඳ තරණය කළ ලොව සිව්වැනි රට බවට ද පත්වෙමිනුයි.

චන්ද්‍රයාන් 3 හි වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කළ පරිදි ඉන්දීය වේලාවෙන් බදාදා (අගෝස්තු 23) සවස 6.04ට සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨය ස්පර්ශ කරන ලදී.

බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින අගමැති මෝදි එහි සජීවීව එම අවස්ථාව නැරඹමින් “ඉන්දියාව දැන් සඳ මත” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රට පුරා සැමරුම් ආරම්භ වුණා.

මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සහාය විය හැකි ජලය මත පදනම් වූ අයිස් පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමයි.

විද්‍යාඥයින් පවසන්නේ සඳේ ස්ථිර සෙවණැල්ලේ පවතින මතුපිට ප්‍රදේශය විශාල වන අතර ජල අයිස් සංචිත තිබිය හැකි බවයි.

මෙම රෝවරය ඉන්දීය ධජයක් රැගෙන ගොස් ඇති අතර එහි රෝදවල චන්ද්‍ර පසෙහි ඉස්‍රෝ ලාංඡනය සහ ඉන්දීය රාජ්‍ය ලාංඡනය සලකුණු තබන පරිදි එම්බොස් කර තිබීම විශේෂත්වයක්.

ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන්-3, දියත් වන්නේ 2008 දී රටේ පළමු සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-1 ට වසර 15 කට පසුවයි.

එම මෙහෙයුමේ දී වියළී ගිය චන්ද්‍ර පෘෂ්ඨයේ ජල අණු පවතින බව සොයාගත් අතර, සඳට දිවා කාලයේ වායුගෝලයක් ඇති බව පළමුවරට අනාවරණය කර ගත්තා.

සාර්ථක ගොඩබෑමකින් පසු ප්‍රග්‍යාන් රෝවරය අද වන විට චන්ද්‍ර පෘෂ්ඨය මත ගමන් කරන බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

එය දැන් පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය සඳහා පෘථිවියට ආපසු යැවීමට තීරණාත්මක දත්ත සහ පින්තූර රැස්කරනු ඇති.

ප්‍රග්‍යාන් විද්‍යාත්මක උපකරණ දෙකක් රැගෙන යන අතර එමඟින් චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ඇති ඛනිජ මොනවාදැයි සොයා බැලීමට සහ පසෙහි රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමට උත්සාහ කරයි.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්‍රෝ) පවසා ඇත්තේ රෝවරය තත්පරයට සෙ.මී. 1 ක වේගයෙන් චලනය වන බවයි.

සඳ මත දිනයක් පෘථිවියේ දින 28 ට සමාන වන අතර මෙයින් අදහස් කරන්නේ ලෑන්ඩරය සහ රෝවරයට ඔවුන්ගේ බැටරි ආරෝපණය කිරීම සඳහා දින 14ක් හිරු එළිය ලැබෙනු ඇති බවයි.

මේ අතර චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි.

එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව ජනාධිපතිවරයා පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට්විටර් සටහනක් තබමින් ඉන්දියාවට සුබ පතමින් පැවසුවේ මෙය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකයටම ඓතිහාසික අවස්ථාවක් බවයි.

මෙරට පාර්ලිමේන්තුවේදී ද චන්ද්‍රයාන් 3 මෙහෙයුමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් චන්ද්‍රයාන් මෙහෙයුම සාර්ථක වීම පිළිබඳ අසල්වැසි ඉන්දියාවට සුබ පැතුම් එක්කරමින් තවත් විශේෂ කරුණක් පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ ඇස් ඇරවීමට කටයුතු කළා.

ඒ, වසර කිහිපයකට පෙර මෙරට දියත් කළ බව කියවුණු සහ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුප්‍රීම් සැට් නම් චන්ද්‍රිකාව පිළිබඳවයි.

“චන්ද්‍රයන් 1, චන්ද්‍රයන් 2 සහ චන්ද්‍රයන් 3 කියලා උත්සාහයන් තුනක් දරලා තමයි ඉන්දියාව මේ කර්තව්‍යය ඉෂ්ට කළේ.
මේ තුනටම වැය වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 263යි.
හැබැයි අපේ රටේ සුප්‍රීම් සැට් එක ක්‍රියාත්මක කරන්න 2012 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 320ක් වියදම් කළා.
මේක මුලු රටම දැන ගන්න ඕන. මම සභානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න සුප්‍රීම් සැට් එකට වියදම් කරපු මිලියන 320ට මොකද්ද වුණේ කියලා.
හඳට යන එක නෙවෙයි මිලියන 320ක් වියදම් කරලා රට වලපල්ළට නම් ගෙනිහින් තියෙනවා”

මෙහිදී නැගී සිටි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ තමන් කලක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් සුප්‍රීම් සැට් නම් ව්‍යාපෘතියක් පිළිබඳ නොදැනුවත් බවයි.

චීනය සමග එක්ව අභ්‍යාවකාශගත කරනු ලැබූ බව කියන සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට සිදු වූයේ කුමක් ද යන්න විමසිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වන්නට පටන් ගෙන තිබෙනවා.

එම සමාජ මාධ්‍ය සටහන්වලද ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙන්නේ ඒ සඳහා වැය කළ මුදල, චීනය මෙරට තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ඇති පාරදෘශ්‍යබාවය පිළිබඳ සහ තිරසරභාවය පිළිබඳ ගැටලු පිළිබඳවයි.

ඊට අමතරව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල, නෙලුම් කුලුණ වැනි ව්‍යාපෘතිවල පිරිවැය සංසන්දය කරමින් එම ව්‍යාපෘති හරහා රටට අහිමි වූ ඩොලර් බිලියන ගණනක මුදල් පිළිබඳ බොහෝ පාර්ශ්ව සිය අප්‍රසාදය සහ කනස්සල්ල සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබුණා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද තවත් වැදගත් කරුණක් පාර්ලිමේන්තුවේදී ඉස්මතු කළා.

“සඳ තරණයට බිලියන ගාණක් වැය කරනකොට, වැසිකිළි නැති මෙච්චරක් ඉන්නවා, කුල වශයෙන් ගැටෙන මෙච්චරක් ඉන්නවා, මෙච්චර දුප්පතුන් ඉන්නවා, එහෙම කියමින් ඒ සතුට අඩපණ කරන කාලකණ්නි සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරම්පරාව තුළ නැහැ.
ඒක ගැන අපි ආඩම්බර වෙනවා.
තමන්ගේ ජාතිය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා.
අපේ තරුණ පරම්පරාවටත් ඉන්දියාවෙන් ඉගෙන ගන්න කියන එක අවධාරණය කරනවා.”

වීරවංශ මන්ත්‍රීවරයා සිය කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

සැබවින්ම බයිසිකලයක සහ ගොන් කරත්තවල රොකට් කොටස් ප්‍රවාහනය කිරීමේ සිට චන්ද්‍රයාන්-3 මෙහෙයුම දක්වා ඉස්‍රෝ හි ගමන් මඟ චිත්‍රපටයක පිටපතක් මෙනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය ඉන්දියානු විද්‍යාඥයින්ගේ නොපසුබස්නා කැපවීම පිළිබඳ සාක්ෂියකි.

ඉන්දියාවේ අභ්‍යවකාශ ගමනේ සාර්ථකත්වය තුළ ඇත්තේ ස්වයං විශ්වාසය පිළිබඳ වැදගත් පාඩමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?