වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ළඟාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව රේගු නිලධාරීන් පවසනවා.
ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේ දී රේගු නිලධාරීන් මේ බව සඳහන් කළා.
රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදියහැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රේගු නිලධාරීන් මෙම කාරක සභාවට පසුගිය දා (08) කැඳවා තිබුණා.
මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපෙරොත්තු වන බවයි.
මෙම මාස 05 තුළ තවමත් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 330ක් පමණක් බවත්, මේ හේතුවෙන් අයවැයෙන් බලාපොරොත්තු වන ආදායමට ලගාවීමේ ගැටලුවක් පවතින බව්කථ් ඔහු සඳහන් කළා.
එහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ලගා විය නොහැකි බවයි.
මෙම තත්ත්වය යටතේ මේ වසර තුළ ලබාගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරනනේ රුපියල් බිලියන 783ක් බවයි සඳහන් කර සිටියේ.
මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය ද දැනුවත් කර ඇති බව එම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම රේගුවෙට ලැබෙන ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු නිසාවෙන් බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඇති සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළගාවිය නොහැකි බවත් ඔවුහු දත්ත සහිතව පෙන්වා දුන්නා.
එසේම 2014 වර්ෂයේ සිට 2022 කාලසීමාව ආශ්‍රිතව වැඩිම බදු ආදායම් ලබාගෙන ඇත්තේ 2018 වර්ෂයේ දී බවත් එම බදු මුදල රුපියල් බිලියන 923ක් බවත් මෙහිදී නිලධාරීන් පැවසුවා.
මේ අනුව මෙම ආදායමෙන් රුපියල් බිලියන 194ක් ලැබී ඇත්තේ වාහන ආනයනයේ දී පනවා ඇති බදු වලින් බව ද මෙහිදී සඳහන් වුණා.
වසර 03ක පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමාවී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනයේදී බදු ලෙස ලබාගත හැකි බවත් මෙහිදී සඳහන් වුණා.
මේ නිසා ණය ආධාර ක්‍රමයක් යටතේ වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳවත් එය මෙරට පවතින විදේශ මුදල් විදෙස්ගත නොවී රේගු ආදායම වැඩිකර ගැනීමට හොදම ක්‍රමය බවත් රේගු නිලධාරීන් පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම රේගුවේ යෝජනා ඉටු වුවහොත් රුපියල් බිලියන 1100 පමණ ආදායමකට ලගාවිය හැකි බවද නිලධාරීන් සදහන් කළා.
මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
එසේම මැණික් සහ රත්‍රන් ආනයනයේ දී සහ අපනයනයේ දී ලබාගන්නා බදු මුදල් පිළිබඳව ද මෙහිදී වධානය යොමු වුණා.
ඒ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් උවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බවයි.
මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකරගැනීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන් ඉල්ලා සිටියා.
තවද රේගුව විසින් පනවන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ අවධානය යොමු වූ අතර කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සමඟ හැකි ඉක්මනින් සාකච්ඡා කොට මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි.
මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ බහාලුම් 1200ක් පමණ වසර කිහිපයක සිට රඳවා ඇති බවද සඳහන් වුණා.
එසේම බහාලුම් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ ආනයනික භාණ්ඩ වලින් 60%ක පමණ පිටතට ගෙනයන්නේ ග්‍රීන් ඒරියා කොටසෙන් බවයි.
මෙහිදී ඒවා පරීක්ෂාවීමක් සිදු නොවන බවත් සීනි, පොහොර, හාල් වැනි දේ මෙසේ ගෙන්වන බවත් සඳහන් වුණා.
නමුත් මෙහිදී මෙම භාණ්ඩ අතර සඟවමින් සිගරට්, මත්පැන් වැනිදේ ගෙන්වීම සිදුවන බවද නිලධාරීන් පෙන්වා දුන්නා.
ගුවන්තොටුපොළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.
ඒ අනුව මේ පිළිබඳ පරීක්ෂාකර බලා රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට රේගුව කටයුතු කරන බව නිලධාරීන් පැවසුවා.
තවද රේගුවේ ආදායම වැඩිකරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර සම්බන්ධතාව වැඩිකිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී රේගු නිලධාරීන් පෙන්වා දුන්නා.