මෙරට දී රෝගීන්ට විෂ වූ ඉන්දියානු ඖෂධය ගැන එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

ඉන්දියාවේ සුප්‍රසිද්ධ අක්ෂි නිෂ්පාදන නිපදවන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධයක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝගීන් කිහිප දෙනෙකුට අක්ෂි ආබාධ ඇති වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර අදාළ සමාගම සමග අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වනවා.

ඇත්තටම මොකද වුණේ?

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු ආසාදනය වැළැක්වීම සඳහා භාවිත කරන Prednisolone – ප්‍රෙඩ්නිසොලෝන් දියර හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇති වී ඇතැයි වාර්තා වුණා.
ඒ කොළඹ ජාතික අක්ෂි රෝහල, නුවරඑළිය මහ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල්වලින්.
මෙම ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඉන්දීය ඖෂධ නිෂ්පාදකයෙකුගෙන් මෙරටට ආනයනය කළ එකක්.
සංකූලතා සහිත රෝගීන් හඳුනාගැනීමත් සමඟ කාණ්ඩ 2කට අයත් එම ඖෂධ තොග වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දිවයින පුරා සියලු රෝහල් වෙත දැනුම් දුන්නා.

මෙම සන්දර්භය තුළ, රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇති කිරීමට හේතු වූ ඖෂධයට විෂබීජ ඇතුලු වූ ආකාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව අවධානය යොමු කළා.

දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ‘මයික්‍රෝ-බග් බර්ක්හෝල්ඩේරියා සීපාසියා’ නම් බැක්ටීරියාවක් රෝගීන්ට සංකූලතා ඇති කිරීමට හේතු වී ඇති බවයි.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අදාළ ඖෂධය නිෂ්පාදනය කළ අදාළ සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ඖෂධ නිෂ්පාදනයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී හෝ විවෘත කිරීමේදී ඖෂධයට විෂබීජ ඇතුලු විය හැකි අතර මෙම සිද්ධියේදී ඖෂධය ප්‍රමිතියෙන් තොර වූයේ කවර අදියරේදී යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජාතික ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබුණේ අක්ෂි දියරයෙහි තිබී හමුවූ බැක්ටීරියාව ඉන්දීය සැපයුම්කරු විසින් එවන ලද පෙර නැව්ගත කිරීමේ සාම්පල විද්‍යාගාර පරීක්ෂණවලට ලක් කළ අවස්ථාවේ අනාවරණය වී නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සෑම සාම්පලයක්ම පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවත්, සාම්පල සම්බන්ධයෙන් ලද වාර්තා සැලකිල්ලට ගෙන නිෂ්කාශනය සඳහා අවසර ලබා දුන් බවත්, අවාසනාවකට, සාම්පල කිහිපයක තිබී ඇති බැක්ටීරියා හේතුවෙන් සංකූලතා මතු වී ඇති බවයි.

ඉන්දීය සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවේ කුමන රසායනාගාරයකදී වුවද සෑම කණ්ඩායමක්ම පරීක්ෂා කිරීමට සමාගම් නියෝජිතයන් එකඟ වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබුණා.

වින්දිතයන් වන්දි ඉල්ලයි

තම ඇස්වලට සිදු වූ හානිය වෙනුවන් වන්දි ලැබිය යුතු බව සංකූලතා මතු වූ රෝගීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

“දින 14 කට පමණ පසු සංකූලතා ඇති වීමට පටන් ගත්තා. සුද ඉවත් කරපු ඇසේ ඒක හරියට මකුලු දැලක් බැඳිලා වගේ. ඒ වගේම පෙනීමත් දුර්වල වෙන්න ගත්තා. රෝහලට ගියාම ආයෙත් ඇඩ්මිට් වෙන්න කිව්වා. අපිට වෙච්ච දේට වන්දි ඕන. මේවා ආණ්ඩුවේ වැරදි. ඒ නිසා අපිට සාධාරණ වන්දියක් ගෙවන්න කියලා ඉල්ලනවා,” සංකූලතා මතු වූ රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉන්දියානා ඔෆ්තැල්මික්ස් නම් ඉන්දීය සමාගමට මේ සම්බන්ධයෙන් දන්වා සැපයුම්කරුගෙන් ද කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවල ඖෂධ ගුණාත්මක භාවයේ බිඳවැටීම් සිදුවිය හැකි බවත්, ගෝලීය වශයෙන් ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි.
මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව ඉන්දීය සමාගමෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ අතර, ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර මෙම හවුල්කාරිත්වය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් කුළුණක් වී ඇති බව සඳහන් කළ යුතුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉහළම ගුණාත්මක බවින් යුත් ඖෂධ අපනයනය කරන ප්‍රධානතම රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දීය ණය සහනය යටතේ දැඩි ගෙවුම් ශේෂ අර්බුදයක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට ලැබුණු ඖෂධ ප්‍රමාණයෙන් එය පැහැදිලි වනවා. එබැවින් මෙම ඖෂධය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනමින් නිම කර සත්‍ය තොරතුරු නොසඟවා හෙළි කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.

නිෂ්පාදකයා ගැන

Indiana Ophthalmics 1981 දී ආරම්භ කරන ලද්දේ විශේෂිත අක්ෂි ඖෂධ නිෂ්පාදන (අක්ෂි දියර සහ අක්ෂි ආලේපන) කෙරෙහි අවධානය යොමු කරමින්. ඉන්ඩියානා ඔෆ්තල්මික්ස් නිෂ්පාදන මුළු ඉන්දියාව පුරා සහ ලෝකයේ රටවල් 30කට වැඩි ප්‍රමාණයක් පුරා වෙළෙඳපොල සීග්‍රයෙන් අත්පත් කර ගනිමින් සිටිනවා. දැනට සමාගම අක්ෂි නිෂ්පාදන 135 කට වඩා වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සමාගමට 2007 වසරේ සිට WHO-GMP අනුමැතිය හිමිව ඇති අතර චිලී, ටර්ක්මෙනිස්තානය, කසකස්තානය, නයිජීරියාව, ඝානා වැනි රටවල ශක්තිමත් වෙළඳපොළක් අත්පත් කරගෙන සිටිනවා.

ටෙන්ඩර් මගඩි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ මේ දිනවල හදිසි මිලදී ගැනීම් ලෙස ඖෂධ මෙරටට ගෙන්වීම තුල මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි.
“හදිසි මිලදී ගැනීමවලදී තත්ත්ව පරීක්ෂණය සියයට සියයක් නිවැරදිව සමහර අවස්ථාවලදී සිදු කරන්නේ නැහැ. ඖෂධ නිවැරදිව කල් ඇතුව ඇනවුම් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕන හදිසි මිලදී ගැනීම් සීමා කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10