රස්තියාදු නොවී ලයිසන් එකට මෙඩිකල් ගන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි

රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතිකය ලබාගැනීම වෙනුවෙන් වෙබ් අඩවිය හා ඕනෑම දුරකථන ජාලයක් භාවිත කිරීම මගින් නොමිලේ පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම හඳුන්වා දී තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ලබන 24 වනදා සිට මෙම නව ක්‍රමවේදය ආරම්භ කරන බවයි නිවේදනය කරන්නේ.

රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතිකය ලබාගැනීමේ දී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී, appointment.ntmi.lk වෙබ් අඩවිය මගින් හෝ ඔබේ ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය දුරකථන කේතය (Area Code) සමඟ, 2 10 20 21 ඇමතීම මගින් සේවා ලබා ගැනීමට පහසු දිනයක් හා වේලාවක් වෙන් කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව ලබන 24 වනදායින් පසු සේවාව ලබා ගන්නා සියළු සේවාලාභීන් වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසන්නේ.

වේලාව වෙන්කල දිනට නොපැමිණිය හොත් එය ස්වයංක්‍රීයව අවලංගු වන අතර, වෙන්කර ගෙන ඇති වේලාව අවලංගු නොකර නැවත වේලාවක් වෙන්කළ නොහැකි බවත් දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්