ජනතාවට රටේ බදු මුදලින් දෙන ප්‍රතිලාභවලට රැස්වීම් අවශ්‍ය නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අලුත්ම සංදර්ශනය වන්නේ මහපොළ උත්සවය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
හෙට (28) දින 2024/2025 වර්ෂයට අදාළ මහපොළ අරමුදල් සහතික ප්රදානය අරලියගහ මන්දිරයේ දී අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතව තිබු බවත්, මේ සඳහා තේරී පත්වූ විශ්වවිද්‍යාල සිසුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය තුළ අරලියගහ මන්දිරයට පැමිණ ලියාපදිංචි වුවහොත් පමණක් මහපොළ සහතිකය ලැබෙන බවත් මේ මහපොළ සහතිකය ඉදිරිපත් කළහොත් පමණක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දෙන බවට සඳහන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පවසන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (27) කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ සමගි වනිතා බලවේගයේ ජන හමුවක් අමතමින්.
වී ගොවියාට පොහොර සහනාධාරය දෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනවිත් නොව සෘජුව ගොවි ජනතාවගේ ගිනුමට බැර කිරීමෙන් බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස සුහුරු රටක් ගොඩනගන්න බලයට පැමිණි හරිනි අමරසූරියගේ වහලුන් ලෙස විශ්වවිද්‍යාල සිසුන් පත් කිරීමට කටයුතු කර ඇති බවයි ඔහු චෝදනා කරන්නේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වුවත් අගමැති වූ විට මෙරට විශ්වවිද්‍යාල දූදරුවන් කකුල් දෙකට ළගට ගෙනවිත් සහතිකය ගත යුතුයි එසේ නොමැති නම් ශිෂ්‍යත්වය නොලැබෙන බවට පැවසීම ලැජ්ජා සහගත බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවා.













