2016 වසරේ ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගතව ආරම්භ කරන ලද කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
කොළඹ මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම සහ මගී ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් යහපාලන රජය සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු අහෝසි කරනු ලැබීය.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා වසර 12 සහන කාලයක් සහිතව වසර 40 ගෙවීමට හැකි වන පරිදි සියයට 0.1ක සහන පොලී පදනමක් යටතේ ණය ලබාදී තිබියදීත් ව්‍යාපෘතිය අවලංගු කිරීමට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතු දැක්වීමක් සිදු නොකර ව්‍යාපෘතිය අවලංගු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා.










