මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ජනරජ පෙරහර අද මහනුවර නගරයේ දී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පැවැත් වෙන්නේ.
අද පස්වරු 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල මහතා ප්‍රකාශ කළා.
වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
නමුත් මෙම පෙරහරේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරෙනවා.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා තිබෙනවා.
රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කරනු ලබන්නේ රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණයි.
මෙම ආකාරයට සංවිධානය කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර, ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හී ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කර ගනිමින්.
1954 වසරේ දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණීමෙන් පසුව ජනරජ පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන්.
1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත් වුණා. එය නැරඹීම සඳහා ද දෙවන එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර නරඹා තිබෙනවා.
1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා තිබෙනවා.
අද පැවැත්වෙන පෙරහැර ගැන ශ්‍රී දළදා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් පහතින්…..
රජජුරුවන්ට පවත්වපු රජ පෙරහර ජනරජ පෙරහරක් වුණේ මෙහෙමයි..
2023 වසරට අපි නිදහස ලබලා අවුරුදු 75ක් පිරෙනවා. ඒ නිමිත්තෙන් පෙබරවාරි 19 වැනිදා දළදා මාලිගාවේ රජ පෙරහරක් පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.
දළදා මාලිගාවේ ඇසළ පෙරහර, වෙසක් පෙරහර,අපි හැමෝම නරඹා තිබෙනවා. ඒ පෙරහරවල් කාටවත් අමුත්තක් නොවෙයි. ඒත් මේ රජ පෙරහර කියන්නේ මොකක්ද කියලා හැමෝටම දැන් ප්‍රශ්නයක්. විවිධ දෙනා ඒ ගැන විමසන නිසා පොඩි සටහනක් ලියන්න හිතුනා.
නිදහස සමරා පවත්වන මේ පෙරහර සමහර අය ජනරජ පෙරහර ලෙසත් හදුන්වනවා. එහෙම හදුන්වන්න හේතුව ඇතා පිට ජනරජ ලාංජනය ගෙන යන නිසයි. නමුත් මෙය හැදින්විය යුත්තේ “රජ පෙරහර” ලෙසයි.
ඉතින් අපේ රජ සමයේ නම් මේ රජ පෙරහර අවුරුද්දකට දෙකතුනක් පවත්වා තිබෙනවා. ඒ කියන්නේ දළදා පෙරහරට අමතරව පවත්වන පෙරහරක් මේක. රජතුමාගේ නියමෙන් තමයි ඒ කාලේ මේ රජ පෙරහර පවත්වා තිබෙන්නේ. විශේෂයෙන් රජතුමාගේ ඔටුනු පැළඳවිම, රජතුමාගේ රජාභිෂේකයේ සංවත්සර, විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන අවස්ථාවක, තව රජතුමාගේ විශේෂ අවස්ථාවල මේ රජ පෙරහර පවත්වා තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මේ රජ පෙරහරරේ කරඬුව වඩම්මන්නේ නැතිවිමයි. කොහොමත් කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමාගේ කාලේනේ නුවර දළදා පෙරහර ආරම්භ වුණේ. එතුමාම පුජාකරපු කරඬුව තමයි අදත් වඩම්මන්නේ. ඉතින් දළදා පෙරහරේ වගේ රජ පෙරහරේ කරඬුව වඩමන්නේ නැහැ.
සිංහල රජ සමයෙන් පස්සේ රජ පෙරහරක් පවත්වා තිබෙන්නේ 1875 දි. ඒ ලංකාවට පාලනය කරපු වික්ටෝරියා මහ රැජිනගේ පුත් වේල්ස්යේ ආදිපාද එඩ්වඩ් කුමාරයා ලංකාවට ආපු වෙලාවේ. ඒ විලියම් හෙන්රි ගෙග්‍රරි ආණ්ඩුකාරවරයාගේ සමයේදීය. මේ රජ කුමාරයා වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයකුත් පවත්වා තිබෙනවා. ඒ දළදා ප්‍රදර්ශනය පවත්වා තිබෙන්නේ එවකට මල්වතු පාර්ශවයේ මහානායක මැදගම ධර්මරක්ෂිත හිමි, අස්ගිරි පාර්ශවයේ මහානායක වත්තේගම සුමංගල හිමිගේ අනුශාසනා පරිදි. ඒ වනවිට දියවඩන නිලමේ දූරය දැරුවේ කුඩා බණ්ඩා නුගවෙල මහතායි.
මේ වේල්සයේ ආදිපාද එඩ්වඩ් කුමාරයා මහනුවර එනවිට මුළු මහනුවරම වෙනස් කළා. තැනින් තැන ගොඩ වෙලා තිබුණු පැරණි බෝගම්බර වැව සම්පුර්ණයෙන්ම ගොඩකළේ කුමාරයාගේ මේ ගමන නිසයා. ඒ වගේම මඟුල් මඩුවට තව කොටසක් එකතු කළා. තව කෝපි වැවිලිකරුවන්ගේ සංගමය එංගලන්තයෙන් යකඩ ගෙන්වා වතුර මලක් නිර්මාණය කළා. ඒ වතුර මල තමයි අදත් මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලය අසල දකින්න තියෙන්නේ.
ඉතින් එඩ්වඩ් කුමාරයා වෙනුවෙන් රජ පෙරහර පැවැත්වුවාට පස්සේ යළිත් රජ පෙරහරක් පවත්වා තිබෙන්නේ 1954 දි. ඒ ලංකාවේ රාජ්‍ය නායිකාව වු දෙවැනි එළිසබෙත් මහ රැජින ලංකාවට ආපු වෙලාවේ. එදා එතුමිය පෙරහර නැරඹුවේ පත්තිරිප්පුවේ ඉඳලයි. එතුමියගේ එඩින්බරෝ ආදිපාදවරයා, ලංකාවේ අගමැති සර් ජෝන් කොතලාවල, අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක යන මහත්වරුත් එදා රැජින සමග රජ පෙරහර නැරඹුවා. එදා මාලිගාවේ රාජා ඇතාගේ රන්සිවි ගෙය බැඳ තිබෙන්නේ. රන්සිවි ගෙය සැරසුවාට එහි කරඬුව තැන්පත් කරන්නේ නැහැ. මල්වතු පාර්ශවයේ මහානායක රඹුක්වැල්ලේ ශ්‍රි සෝභිත හිමි, අස්ගිරි පාර්ශවයෙ මහානායක යටවත්තේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි දියවඩන නිලමේ කුඩා බණ්ඩා නුගවෙල මහතා පෙරහර සංවිධානය කළා. එදා රජ පෙරහර බලලා රැජින බොහෝම සතුටු වෙලා තියෙනවා.
ඉන් පසුව 1978 දි ලංකාවේ ව්‍යවස්ථාව වෙනස්කර විධායක ජනාධිපති ධුරය ඇති වූ පසුව ඒ වෙනුවෙනුත් රජ පෙරහරක් පවත්වා තිබෙනවා. ඒ නැරඹිමට මුල්ම ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා සහභාගි වුනා. සිරිමල්වත්තේ ආනන්ද මල්වතු පාර්ශවයෙ මහානාහිමි හා පලිපාන චන්දානන්ද අස්ගිරි පාර්ශවයෙ මහානාහිමිගේ අනුශාසනා පරිදි පැවැති මේ රජ පෙරහර සංවිධානය කළේ දියවඩන නිලමේ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතායි. 1978 පෙරහරේදි තමයි මුල්වරට ජනරජ ලාංජනය ඇතා පිට රැගෙන ගියේ. මේ ජනරජ ලාංජනය නිර්මාණය කළෙත් දියවඩන නිලමේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටියදි ඔහු සභාපතිත්වය දැරු කමිටුවකින්, ඒ 1972 බණ්ඩාරනායක මැතිනිය ජනරජ ව්‍යවස්ථාව සම්මත කළාට පසුවයි. ඉතින් 1978 රජ පෙරහරේත් ජනරජ ලාංජනය ගෙන ගියේ මාලිගාවේ රාජා ඇතා.
ඉන් පස්සේ මහ රැජින ලංකාවට ආවේ 1981දි. මහ රැජින වෙනුවෙන් 1981 දීත් රජ පෙරහරක් පවත්වා තිබෙනවා. රැජින 1981 ලංකාවට ආවේ වික්ටෝරියා වේල්ල විවෘත කරන්න. ඒ වාරේ තමයි ඇය වෙනුවෙන් දෙවැනි රජ පෙරහරත් පැවැත්වුයේ. නමුත් 1954 වගේ මේ වාරේ රැජින රජ පෙරහර නැරඹුවේ පත්තිරිප්පුවේ සිට නොවේ. ඒ වාරේ මහ රැජින රජ පෙරහර නැරඹුවේ මහමළුවේ තැනු විශේෂ වේදිකාවක ඉඳලයි. මේ වේදිකාව මහවැලි අධිකාරිය විසින් නිර්මාණය කර තිබුණේ පත්තිරිප්පුව වගෙයි. ඒ වනවිට දියවඩන නිලමේ ධුරය දරුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතායි. ඔහු ඒ වනවිට කැබිනට් ඇමැතිවරයෙක්. ඒ නිසා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ඔහු මහ රැජිනට පෙරහරේ විස්තරය කරන්න පත්කර තිබුණා. ඒ නිසා රජ පෙරහරේ ගියේ ඔහුගේ පුත් එවකට ලංකාතිලක දේවාලයේ බස්නායක නිලමේ හා වැඩබලන දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතායි.
මහ රැජින පෙරහර නරඹා අවසන් වී පෙරහර පස්සෙන්ම වාහනයෙන් නැග ජනාධිපති මැදුරට ගිහින් තිබෙනවා.මහ රැජින වෙනුවෙන් පැවැත්වු ඒ දෙවැනි රජ පෙරහරෙත් ගමන් කළේ මාලිගාවේ රාජා ඇතා. පිත්තලවලින් සැකසු රිදි ආලේප කළ ජනරජ ලාංජනය තමයි රාජා ඇතා පිට ගෙනගියේ. 1981 රජ පෙරහර පවත්වන විට මල්වතු පාර්ශවයෙ මහානායක ධුරය දැරුවේ සිරිමල්වත්තේ ආනන්ද නාහිමියෝයි. පලිපාන චන්දානන්ද මහානාහිමියෝ අස්ගිරි පාර්ශවයේ මහනායක දූරය දැරුවා.
යළිත් රජ පෙරහරක් පැවැත්වුයේ 1987 දෙසැම්බර් 31 දින. ඒ මාලිගාවේ රන්වියන විවෘත කරපු දවසේ. පුරාවිද්‍යාවේ ගෝරනාඩු මැද්දේ වුව ද අවසානයේ රන් වියන ඉදිකළා. අනතුරුව උත්සව සභාව පැවැත්වූයේ ඓතිහාසික මඟුල් මඩුවේදී. ඒ මල්වතු පාර්ශවයේ මහානායක සිරිමල්වත්තේ ආනන්ද හිමි හා අස්ගිරි පාර්ශවයේ මහානායක පලිපාන චන්දානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන්. දිවංගත රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා දළදා වහන්සේ උදෙසා කළ සේවාවන්ට කෘතගුණ දැක්වීමක් ලෙස විශේෂ ‘රජ පෙරහරක්’ එදා සංවිධානය කෙරුණා.
අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරු පෙරහර නැරැඹුවේ මහනුවර රැජින හෝටලයේ සිටයි. ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහරට මෙන් අති විශාල ජනතාවක් රජ පෙරහර නැරැඹීමට නගරයට එක්රොක් වී සිටියා. සාමාන්‍යයෙන් දළදා පෙරහර වීදි සංචාරය කරන විට ඉඩ ඇති තැන්වල පෙරහර නතර වී නැටුම් කණ්ඩායම් සිය දක්ෂතා පෙන්වනවා. එහෙත් මෙය දළදා පෙරහරක් නොවන නිසා එසේ නතර නොවී එක දිගටම පෙරහර වීදි සංචාරය කෙරුණා.
අවසන්වරට රජ පෙරහරක් පැවැත්වුයේ 2009 වසරේදි. ඒ යුධ ජයග්‍රහණයෙන් පසුවයි. ඒ රජ පෙරහර සංවිධානය කළේ තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමිගේ හා උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමිගේ ආශිර්වාද මැද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.
දැන් අපි බලමු මේ රජ පෙරහරෙයි දළදා පෙරහරෙයි තියෙන වෙනස මොකක්ද කියලා.
රජ සමයේ නම් රජ්ජුරුවෝ වෙනුවෙන් රජ පෙරහරක් පැවැත්වුවා. ඉන් පස්සේ 1815 න් පස්සේ රජ පෙරහරවල් පවත්වා තියෙන්නේ හයයි. ඒ කියන්නේ එවැනි පෙරහරක් පවත්වන්නේ ඉතාම කලාතුරකින්.
මේ රජ පෙරහරවල දළදා පෙරහරේ වගේ මල් ඉසින්නේ නැහැ. ඒ කියන්නේ දළදා පෙරහරේනම් කරඩුව වඩම්මන ඇතා දෙසට මල් ඉහිනවනේ. නමුත් රජ පෙරහරේ ඇතාට මල් ඉහින්නේ නැහැ. ඒ කරඩුව වඩම්මන්නේ නැති නිසයි. දළදා පෙරහරේනම් හේවිසි පද වෙනස් කරනවා. බුදුගුණ ගයනවා. ඒත් රජ පෙරහරේ හේවිසි පද වුණත් වෙනස් කරකර වයන්නේ නැහැ. එකම පද තමයි වයන්නේ. ඒවගේම ඇතාට පාවඩ දාන්නේ නැහැ. ඒ කරඬුව වඩම්මන්නේ නැති නිසා.
ඒ වගේම දළදා පෙරහරේ වගේ කවිකාර මඩුව ගමන් කරන්නෙ නැහැ. හින්දු ආභාෂයෙන් අපේ දළදා පෙරහරට එක්වු නාගසිංහම් රජ පෙරහරේදි වයන්නේ නැහැ.
සතර මහ දේවාලවල පෙරහරවල් දළදා පෙහෙරේ ගමන් කරනවා. දළදා පෙහරරේදි දේවාල පෙරහරවල ඇතුන් පිට දේවාභරණ වඩම්මනවා. හැබැයි දළදා පෙරහරේදි වගේ රජ පෙරහරවල දේවාල පෙරහරේ රන් ආයුධ දේවාභරණ වඩම්මන්නේ නැහැ. ඒ වෙනුවට ඇතා නිකම් සරසා ගමන් කරනවා. දියවඩන නිලමේවගේම සතර මහ දේවාලව බස්නායක නිලමේවරුත් පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුත් රජ පෙරහරේ ගමන් කරනවා.
දළදා පෙරහරේ මෙන් පෙරහර සුදානම් වීමට, පිටත්වීමට වගේම පෙරහර ගෙවදිම දැනුම් දෙන්න වෙඩිල්ල රජ පෙරහරේදිත් තබනවා. දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර ගමන්කරන මාර්ගයේම තමයි මේ රජ පෙරහර ගමන් කරන්නේ. මේ රජ පෙරහරේ බුදුගුණ කියමින් ගමන් නොකිරිමත් විශේෂත්වයක්.
සිංහල රජ සමයේ සිට මේ දක්වා පැවැති රජ පෙරහරවල් හයෙන් පෙරහරවල් හතරකම ගමන් කිරිමට මාලිගාවේ රාජා ඇත් රජුට අවස්ථාව ලැබුණා. ඒ 1954, 1978, 1981 සහ 1987 රජ පෙරහරවලයි. ඒ අනුව ඒ පැත්තෙනුත් රාජා ඇතා ඉතිහාස ගතවෙනවා.