ස්ථානාධිපතිවරයා බැණ වැදුණු බව සඳහන් කර සටහනක් තබා කොස්තාපල්වරායෙන් රැකියාව අතහැර ගෙදර ගිය පුවතක් අලුත්ගම පොලිසියෙන් වාර්තා වනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා දෛනික සටහන් පොතේ සටහනක් තබා මෙලෙස රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එම පොලිස් නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීප නිවාඩු වාර්තාකර නිවසට ගොස් ඇති අතර, යළි රාජකාරිය සඳහා පොලිස් ස්ථානයට පැමිණි පසු නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ පැන නැගී ඇති ගැටළුවක් හේතුවෙන් ස්ථානාධිපතිවරයා ඔහුට බැණ වැදී ඇති බවත් සඳහන් කරමින් එම නිලධාරියා රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.
තමාට රැකියාව කරගත නොහැකිව දැඩි මානසික පීඩනයෙන් සිටීම සහ මීට පෙර ද විවිධ අවස්ථාවල ස්ථානාධිපතිවරයා තමන්ට බැණ වැදුණු බවත් අදාළ සටහනේ දක්වා ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් දසත නිව්ස් මේ සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කර සිටියා.
එහිදී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අදාළ නිලධාරියා අසනීප තත්ත්වයක් හේතුවෙන් දින තුනක නිවාඩු අනුමත කරගෙන නිවසට ගිය බවයි.
කෙසේ වෙතත් එම නිවාඩු අවසන් වූ පසු අදාළ නිලධාරියා ටෙලිග්‍රෑම් එකක් මාර්ගයෙන්, කම්මුල්ගාය රෝගී තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි බවට දැනුම්දීමට කටයුතු කර තිබූ බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුරුව දින 21ක් නිවාඩු ලබාගෙන යළි සේවයට වාර්තා කළ එම නිලධාරියාගෙන් අසනීප තත්ත්වය පිළිබඳව විමසා ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පැවසූ බවත්, එලෙස ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ ගැටළුවක් ඇති බවට නිරීක්ෂණය වූ පසු ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට තමන් කටයුතු කළ බවයි ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවේ.
ඉන් අනතුරව එම කොස්තාපල්වරයා දෛනික සටහන් පොතේ සටහනක් තබා මෙලෙස සේවය හැරගොස් ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, අදාළ සිදුවීම පිළිබඳව ඉහළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි පවසා සිටියේ.













