AFC Banner
Empty Ad
Empty Ad

“සති 12ත් 16ත් අතර තුන්වැනි රැල්ල ආරම්භ විය හැකියි.”

- ඩෙල්ටා ප්ලස් මහා ව්‍යසනයක් සිදුකරයිද..?

කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී.

නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්ත විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

ඊට පවතින සූදානම පිළිබඳව, ප්‍රාන්ත ආණ්ඩුවලින් අධිකරණය විමසා ඇත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ සති 12ත් 16ත් අතර කාලයක් ඇතුළත තුන්වැනි රැල්ල ආරම්භ විය හැකි බවකි.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගැන බොහෝ දෙනාගේ අවධානය මතු වී තිබේ.

දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයයි.

දැනට භාවිත වෙමින් පවතින එන්නත් මගින් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පරාජය කළ නොහැකි විය හැකි බවට ඇතැම්හු සැක පළ කරති.

ඩෙල්ටා ප්ලස් යනු මෑතකදී ඉන්දියාවෙන් පළමුවරට සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ අලුත්ම වෛරස් ප්‍රභේදයයි. ඉන්දියාවේ දෙවෙන රැල්ලට වගකිව යුත්තේ එම ඩෙල්ටා ප්‍රභේදයයි.

කෙසේ නමුත් මෙකී තුන්වන රැල්ල පිළිබඳව පවතින බිය කෙතරම් යථාර්ථවාදී ද?

කොවිඩ් රැල්ලකට පසුව තවත් රැල්ලක් හට ගැනීම අපේක්ෂා කළ හැකි දෙයකි. නමුත් එය කෙතරම් දරුණු වේද යන්න තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක කීපයක් ම පවතී.

ඉන්දියාවෙන් දිනකට වාර්තාවන ආසාදිතයන් ගණන දල වශයෙන් 50,000ක මට්ටමට පහළ බැස ඇත. පසුගිය මැයි මාසයේ දී ආසාදිතයන් 400,000ක් වැනි ඉහළ ප්‍රමාණයක් දිනකට වාර්තා විය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාව පුරා ක්‍රියාත්මක වූ දැඩි ලොක්ඩවුන් නීති රීති ය.

මැතිවරණ රැළි, ආගමික උත්සව සහ වෙළෙඳපොළ කඩ සාප්පු ජනාකීර්ණ වීම නිසා දෙවන රැල්ල ඇති වූ බවට දෝෂාරෝපණ එල්ල විය.

ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.

කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය.

පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය.

නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය.

කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය “අවමානයට පාත්‍ර වූ” බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි.

කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම ආරම්භයේ පටන් ම බරපතල ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි.

මෙවැනි වැරදි ප්‍රතිපත්ති තීරණ, දුර්වල නිරීක්ෂණ සහ කල්තියා කරන ලද අනතුරු ඇඟවීම් නොතකා හැරීම පිළිබඳව චෝදනා පවතී. මෙම වැරදි නැවත සිදුවන්නේ නම් තුන්වන රැල්ල කඩිනම් වීම වලක්වාලිය නොහැකි බව විශේෂඥ මතයයි.

ප්‍රජා ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රකාන්ත් ලහාරියා පවසන්නේ ඉන්දියාව මේවන විට ඉතා තීරණාත්මක තැනකට පැමිණ ඇති බවයි. තුන්වන රැල්ලේ ඉරණම ප්‍රධාන වශයෙන් ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව ඔහු පැවසීය.

රටේ ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම ඉතා වැදගත් බව ඔහු පිළිගනී. නමුත්, “රට විවෘත කිරීම සඳහා අප ඉක්මන් වන්නේ නම් සහ ජනතාව කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඉන් සිදුවන්නේ වෛරසය නැවත වේගයෙන් ව්‍යාප්ත වීම සඳහා උදව්වීමක්” බව ඔහු අවධාරණය කරයි.

“කොවිඩ් ආරක්‍ෂිත ක්‍රමවේද සහ නීති ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. යම්කිසි වෙළෙඳපොළක් හෝ ව්‍යාපාරයක් ඒ නීති කඩ කරන්නේ නම් දඬුවම් නියම කළ යුතුයි.”

ඉන්දියාවේ දෙවන රැල්ල දරුණු වීමට වැඩි වශයෙන් බලපෑවේ ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම වෛරසය තවදුරටත් ජනතාව අතර මහා පරිමාණයෙන් ව්‍යාප්තවීමට ඉඩහළහොත් එවැනි තවත් අලුත් ප්‍රභේද මතුවනු ඇති බව විශේෂඥ මතයයි.

‘ඩෙල්ටා ප්ලස්’ ලෙස නම් කර ඇති නව වෛරස් ප්‍රභේදය පිළිබඳව “දැඩි අවධානයක්” යොමු වී ඇති බව ඉන්දීය රජය නිවේදනය කළේය. නමුත් එමගින් තුන්වැනි රැල්ලක් හටගන්නා බවට සහතික කිරීම සඳහා තවමත් විද්‍යාත්මක සාධක නොමැත. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය “සති කීපයක් ඇතුළත වෙනස් විය හැකි” බව විශේෂඥයෝ පවසති.

වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පවසන්නේ වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තුරා අලුත් ප්‍රභේදවලින් ඇතිවන තර්ජනය දිගටම පවතින බවය.

“භයානක වෛරස් ප්‍රභේද කල්තියා හඳුනාගැනීමටත් ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් පවතින ක්‍රමවේද තව තවත් වැඩිදියුණු කිරීමට අප පියවර ගත යුතුයි.”

ජුනි මාසය දක්වා ඉන්දියාව වරින්වර ලබා ගෙන ඇති වෛරස් නියැදි (සාම්පල) ප්‍රමාණය 30,000ක් පමණ වේ. නමුත් විශේෂඥයන් පවසන්නේ මීට වඩා ප්‍රමාණයක් ලබා ගත යුතුව පවතින බවය.

දැනට පවතින එන්නත්, මේ වනතෙක් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේද සඳහා පමණක් ඵලදායී වන බවක් පෙනෙන්නට ඇති බවත් අලුතින් බිහි වන ප්‍රභේද සඳහා එම එන්නත් වැඩ කරයි ද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් නොමැති බවත් වෛද්‍ය ඒ ෆතාවුදීන් පැවසීය. ඔහු කොවිඩ් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි.

එමෙන්ම, එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ද කොවිඩ් වැළඳුණු අය එමටය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථා හමුවන්නේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා සිටි උදවිය අතරය.

කෙසේ නමුත් දෙවන වතාවට කොවිඩ් 19 වැළඳුණු උදවියට එතරම් බරපතල රෝග ලක්ෂණ මතුවී නොමැති බවට සාධක පළවිය.

දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය.

“ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුණා.” වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ.

නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය.

නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත.

වෛද්‍ය ෆතාවුදීන් ගේ මතය නම් ඉන්දියාවේ තුන්වැනි රැල්ලක් ඇතිවීම නොවැලක්විය හැකි බවය. නමුත්, “නව වෛරස් ප්‍රභේද ගැන ඇස ගසාගෙන සිටියහොත් සහ ආරක්‍ෂිත ක්‍රමවේද තදින් ක්‍රියාත්මක කළහොත් තුන්වැනි රැල්ල පමා කරගැනීමට හා දරුණු මට්ටමකට පත් වීම වලක්වා ගැනීමට හැකිවනු ඇති” බව ඔහු පවසයි.

“අපි ඒ දේවල් කළේ නැත්නම්, තුන්වැනි රැල්ල අපට හිතා ගන්නවත් බැරි තරමේ වේගයකින් අප අතරට ඒවි.”

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?