AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්ව කිහිපයකට නොතීසි

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළා.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සිරකරුවකු වන සුදේශ නන්දිමාල් ද සිල්වා මහතා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමිවන බවත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව සෑම සිරකරුවෙකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකිය යුතු බවත් සාමාන්‍ය පුද්ගලයකු භුක්ති විදින සියලු වරප්‍රසාද ඔහුට සලසා දීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම් වලදී ඡන්දය ප්‍රකාශ කරීමට සුදුසුකම් නොලබන
සිරකරුවන් කවුරුන් දැයි පැහැදිලි ව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අධිකරණය මගින් වරදකරු නොකළ රිමාන්ඩ් සැකකරුවන් අයත් ව නොමැති බවත් පැවසුවා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමා ද ඉකුත් කාලයේ වසර කීපයක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටීම නිසා මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් පෙත්සම්කරු මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාරගත ව සිටින අතිවිශාල සැකකරුවන් පිරිසකට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වී තිබෙන බවත් සඳහන් කළා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව චන්දය දීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් 20000කට අධික පිරිසක් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසුවා.

එබැවින් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?