Empty Ad
Empty Ad
AFC Banner

ලොව තැතිගන්වන චීනයේ මනමාලියන් ජාවාරමේ රහස්

චීනය ආශ්‍රිතව මහා පරිමාන ජාවාරම් පවතින බව අතීතයේ සිටම වාර්තාවී තිබේ. විශේෂයෙන් අධික ජනගහනයක් පවතින රටක් ලෙස චීනය මෙවැනි ජාවාරම් මැඩලීමේ අසීරුතාවයෙන් පෙළී ඇති බවද දැකගත හැකිය. චීනය මෑත අතීතයේදී කොමියුනිස්ට් පක්ෂය පදනම් කරගත් දරදඬු නීති සිය ජනතාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළද විශේෂයෙන් මිනිස් ජාවාරම වැනි ඒ අතුරින්ද වඩාත් ප්‍රචලිත අකටයුතුකම් අද දක්වාම පාලනය කිරමට අසමත්ව ඇත. මේ නිසාම එවැනි මිනිස් ජාවාරම් වලට ගොදුරු වූවන්ට චීනය තුල අත්විඳීමට සිදු වන බිහිසුණු ජීවිත අත්දැකීම් පිළිබඳව විවිධ වාර්තා අදටද වරින් වර ප්‍රකාශයට පත් කෙරේ. මෑතකදී investigative journalism reportika (Ij-reportika) නම් ගවේෂණාත්මක සංවිධානය විසින් නිකුත් කරන ලද චීනයේ මෙම මිනිස් ජාවාරම පිලිබඳ වාර්තාවක් විසින් නැවත වතාවක් ලෝකය සසල කිරීමට සමත්ව තිබේ.

එය, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ විවිධ රටවල කාන්තාවන් ඉලක්ක කර ගනිමින් චීන පුරවැසියන් විසින් මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මනමාලියන් ජාවාරම් කිරීම පිළිබඳ සවිස්තරාත්මකව විමර්ශනය කරන ලද වාර්තාවකි. එමගින් චීනයේ මෙම ජාවාරම වර්ධනය වූ ආකාරය සහ අදටද ඊට පහසුකම් සපයන විවිධ සාධක විමර්ශනයට ලක්කර තිබේ. එසේම විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික සාක්ෂි සහිතවම, චීනයේ සිදුවන මෙම අපකීර්තිමත් ජාවාරම පිලිබඳ තොරතුරු රැසක් එමගින් අනාවරණය කර ඇත.

චීනය තමන්ට මෙන්ම ලෝකයට ද බලපාන බොහෝ නරක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ප්‍රසිද්ධය. ඒ අතරින් වඩාත්ම බලගතු සහ කුප්‍රකට තීරණයක් වන්නේ “එක් දරු ප්‍රතිපත්තියයි”. එක් පවුලකට එක් දරුවකු පමණක්ය යන එම ප්‍රතිපත්තිය සැලකිවයුතු කාලයක් තිස්සේ චීන ජනතාවට බියකරු සිහිනයක්ව පැවැතිණි. චීනයට මනාලියන් පිලිබඳ විශාල හිඟයක් නිර්මාණය වීමට මෙම එක් දරු ප්‍රතිපත්තියද විශාල ලෙස බලපෑවේය. පසු කාලීනව චීනයේ වෙනත් රටවලින් මනාලියන් ජාවාරම් කිරීමට මෙය මූලික හේතුවක් විය.

මෙම මනමාලියන් ජාවාරමට එක් අතකින් චීනයේ ආර්ථික වර්ධනයද බලපා ඇතැයි පැවසුවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනය විසින් තනි පුද්ගල ආර්ථික තත්ත්වයන්ද වැඩිදියුණු කර ඇත. එමනිසා මෙම ජාවාරමේදී කාන්තාවන් සඳහා හුවමාරු කර ගැනීම සඳහා තැරැව්කරුවන්ට පහසු සහ විශාල ගෙවීම් සිදුකිරීම සඳහා චීන පිරිමින්ට මග පාදාදී ඇත.

අනෙක් අතට ආර්ථික සංවර්ධනය විසින් වැඩි වශයෙන් චීන කාන්තාවන් ශ්‍රම බලකායට එක්කර ගැනීමට කටයුතු කර ඇත. ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් කාන්තාවන්ය යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් වැඩි වැඩියෙන් තම අයිතිවාසිකම් සහ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කරගැනීමට කටයුතු කරනවාය යන්නයි. එවැනි මුල්‍ය ස්ථාවරත්වයක් අත්කරගත් කාන්තාවන් තවත් අතකින් අසතුටුදායක විවාහවල රැඳී සිටීම ප්‍රතික්ෂේප කරන බවද දැකගත හැකිය. චීනයේ දික්කසාද වූ පිරිමින් සංඛ්‍යාව වැඩි වීමට හේතුව වී ඇත්තේ කාන්තාවන් බොහෝවිට තම විවාහයෙන් ඉවත් වීමයි. නීතිවිරෝධී මනාලියන් වෙනුවෙන් තැරැව්කරුවන් පිටුපස බොහෝවිට යන්නේ මෙලෙස කාන්තාව විසින් විවාහයෙන් ඉවත්වීමෙන් අනතුරුව තනිකඩ වන මෙම චීන පුරුෂයන්ය.

විශේෂයෙන් චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ විශාල හිඟයක් වාර්තා වේ. එක් දරුවෙකු ප්‍රතිපත්තිය සහ ගබ්සාව යන හේතු දෙකෙහිම ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය නිර්මාණය වී තිබේ. එය පැහැදිලිවම මනාලියන් ජාවාරමේ විවෘත ක්‍රියාකාරකම් සඳහා උණුසුම් වටපිටාවක් සකස් කරදී තිබෙන බව දැකගත හැකිය. චීනයේ ප්‍රධාන ප්‍රදේශ කිහිපයක්, එනම් බීජිං, ෂෙන්සෙන්, ඩොංගුවාන් සහ තවත් බොහෝ ප්‍රදේශ ලිංගික ජාවාරම විවෘතව සිදුකෙරෙන ප්‍රමුඛ වෙළඳපොල බවට පත් වී ඇති අතර ඒවා ගණිකා වෘත්තිය වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථාන බවට පත්ව ඇත. එහි ඇති විශාලතම ප්‍රශ්නය නම්, චීනයේ සිදුවන බොහෝ ගණිකා ව්‍යාපාර බලහත්කාරි ගණිකා වෘත්තීන් වීමයි. එමනිසාම ගණිකා වෘත්තීය ආශ්‍රිතව පවතින්නේද බහුලව ජාවාරම්කාරී පරිසරයකි. ඒ අනුව කාන්තාවන් ජාවාරම් කළ යුත්තේ මන්දැයි මෙම පරිසරය විසින් මනාව පැහැදිලි කරනු ලබයි.

භෞතික පරිසරය තුළ පමණක් නොව, චීනය තුළ මහාපරිමාණ සයිබර්සෙක්ස් සංස්කෘතියක් පවතින බවටද ප්‍රසිද්ධය. එම අන්තර්ගතයට උනන්දුවක් දක්වන විශේෂිත ප්‍රේක්ෂක පිරිසක් විසින් නිරන්තරයෙන්, මහා පරිමාණයෙන් කාන්තාවන් කැමරාවලින් දූෂණය කරනු ලැබේ. මෙම ‘අන්තර්ජාල ස්ත්‍රී දුෂණ ගුබ්බෑයම්වල’ හුවමාරුවන වන කාන්තාවන්ද වෙනත් රටවලින් ජාවාරම් කොට ගෙන්වන ලද කාන්තාවන් ය.

රට තුල පවතින බරපතල ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවය චීනයේ දෑවැද්දේ මිල ඉහළ යෑමට ද හේතු වී ඇත. එමනිසාම චීන පුරුෂයන්ට, චීන දේශීය කාන්තාවක් විවාහ කර ගැනීමට වඩා ආනයනික මනාලිය සඳහා ජාවාරම් නියෝජිතයින්ට ගෙවීම වඩාත් පහසු වේ. මෙහිදී සැලකිව යුත්තේ චීනයේ මනාලියන් වෙනුවෙන් දෑවැද්ද ගෙවිය යුතු වන්නේ පුරුෂයන් විසින් වීමයි.

බොහෝ දුරට රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස චීනය පසුගිය දශක කිහිපය ඇතුලත කලාපීය බලවතාගේ ස්ථානය වේගයෙන් අත්පත් කර ගෙන ඇත. මෙහි ඇති අවාසිය නම් සාපේක්ෂ වශයෙන් දුප්පත් රටවල් කිහිපයක් චීනය ආසන්නයේ පැවතීමයි. චීන තැරැව්කරුවන් විසින් කාන්තාවන් ජාවාරම් කිරීම සඳහා මූලික වශයෙන් ඉලක්ක කරන රටවල් අතරට කාම්බෝජය, මොංගෝලියාව, වියට්නාමය, නේපාලය, පකිස්ථානය සහ තායිලන්තය ඇතුළත් වේ. මෙම රටවල් බොහොමයක් චීනය සමඟ ගොඩබිම් දේශසීමාවන්ගෙන් වෙන්ව ඇති අතර, එම දේශසීමා ඉතා හොඳින් ආරක්ෂා කර නොමැති බැවින් පහසුවෙන් කාන්තාවන් ජාවාරමට ඉඩ සලසා තිබේ.

වියට්නාමය ද ඇතුළුව, ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් සහිත පරිසර පවතින මේ රටවල, ග්‍රාමීය කාන්තාවන් බොහෝ විට බොරු පොරොන්දු දී චීනයට ප්‍රවාහනය කරන තැරැව්කරුවන්ගේ ඒකාධිකාරයට ගොදුරු වේ. එම තැරැව්කරුවන් විසින් චීනයේ “වඩා හොඳ රැකියා අවස්ථා” සහ “හොඳ වැටුප් සහිත රැකියා” පිළිබඳව සිදුකරන ප්‍රචාරණයන්ට බොහෝවිට මෙම විදේශීය දුගී කාන්තවන් පහසුවෙන් හසුකරගත හැකිය.

චීනයට කාන්තාවන් මෙලෙස යොමුකරන රටවල් අතර නේපාලය සාපේක්ෂව ඉදිරියෙන් පසුවෙයි. නේපාලයේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශය විසින් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ බොහොවිට තැරැව්කරුවන් වෙතින් ගලවා ගන්නා තරුණ කාන්තාවන් මනාලියන් යැයි රැවටීමට ලක්කර චීනයේ ගණිකා වෘත්තීය වෙනුවෙන් රැගෙන යමින් සිටි තැනැත්තියන් බවයි.
“සියලු නීතිමය ක්‍රියාදාමයන් අනුගමනය කරමින් චීන ජාතිකයන් විසන් නේපාල කාන්තාවන් රැගෙන ගියද, මෙම කාන්තාවන් ලිංගික වහලුන් හෝ වැටුප් නොලබන ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ වැඩි අවදානමක් ඇත” යැයි නේපාලයේ මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශය ප්‍රසිද්ධ නිවේදනයන්ද නිකුත් කර ඇත්තේ බොහෝවිට, නේපාල නීතියේ හිස්තැන් සොයාගනිමින් චීන ජාවාරම්කරුවන් විසින් මෙම මිනිස් ජාවාරමේ නිරතවන බැවිනි.

මෙම කාන්තා ජාවරමට සහභාගී වන තරව්කරුවන්ගේ ස්වභාවයද මෙහිදී හඳුන්වාදීම වැදගත් වේ. ඔවුන් බොහෝවිට චීන යටිතල ව්‍යාපෘති ක්‍රියාත්මක රටවල රැඳී සිටින අදාළ ව්‍යාපෘතිවලට සම්බන්ධ සේවකයන්ය. නැතහොත් එවැනි සේවකයන් ලෙස පෙනී සිටින ජාවාරම්කරුවන්ය. විශේෂයෙන් චීන-පාකිස්තාන් ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ආශ්‍රිතව මෙම ජාවාරම්කරුවන් බහුල ලෙස ගැවසෙන බව අනාවරණය වී ඇත. චීන සමාගම්වල ව්‍යාපාරිකයන් ලෙස පාකිස්ථාන ගම්මානවලට ඇතුළුවන් ඔවුන් දුගී පකිස්තාන ගැහැණු ළමයන් ඇමරිකානු ඩොලර් 3,500-5,000 වැනි සැලකිව යුතු මිලගණන් වලට මිලදී ගන්නා බවද මෙම අපකීර්තිමත් මිනිස් ජාවාරමට අදාළ Ij-reportika වාර්තාව විසින් වැඩිදුරටත් අනවරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?