2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් මැඩ පැවැත්වීමට යාමේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කළේ යැයි චෝදනා ලබා සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ අවසන් තීන්දුව ජනවාරි මස 6 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.
එම නඩුව තුන් වසරකට අධික කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණුනි.
එම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව අධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය.
නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂිවල පවතින සංකීර්ණභාවය හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර තීන්දු ප්‍රකාශ කිරීමට කාලය අවශ්‍ය බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
එහිදී ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දමන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.





