නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ සහ විදේශීය දුම්වැටි තොගයක් වයඹ මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ; පසුගියදා (21) කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම බීඩිකොළ තොගය සොයාගත් බවයි.
එහිදී මුහුදේ පාවෙමින් තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 2,129ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි 9,980ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාව මගිනුයි මෙම වැටලීම සිදු කෙරුණේ.
නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩිකොළ තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩිකොළ තොගය සහ දුම්වැටි තොගය පිළිබඳ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.