කල්පිටිය – කන්දකුලිය ධීවර තොටුපොළෙන් පසුගිය හයවනදා මුහුදු ගොස් දින දෙකක් පුරා අතරමංව සිටි ධීවරයන් තිදෙනෙකු සහ ධීවර යාත්‍රාවක් යළි ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඉන්දීය මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් මෙම යාත්‍රාව බේරාගත් බවයි වාර්තා වන්නේ.
එදිනම රාත්‍රියේ නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුගිය හයවනදා අළුයම ” විහාරා ” නම් මෙම එක්දින ධීවර යාත්‍රාව කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපොළින් පිටත්ව ගොස් තිබුණා.
මෙම එක්දින ධීවර යාත්‍රාවේ එංජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එදින රාත්‍රී නවයට පමණ එය ක්‍රියා විරහිත වී තිබෙනවා.
මේ හේතුවෙන් ධීවරයන්ට යාත්‍රාව පණ ගැන්වීමට නොහැකි වී ඇති අතර එය ඉන්දීය මුහුදු සීමාවට පාවී ගොස් තිබෙනවා.
ධීවරයන් පිරිස මෙලෙස අතරමංව සිටියදී ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි පිරිසක් විසින් ඔවුන් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යාත්‍රාව අතුරුදන් වීම පිළිබඳව එහි හිමිකරු විසින් පොලීසිය සහ නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව පසුගිය හත්වනදා තවත් ධීවර යාත්‍රා තුනක් මුහුදට යැවීමට කටයුතු කළා.
එම යාත්‍රාවලට ඊයේ උදෑසන ඉන්දීය ධීවරයින් විසින් බේරාගත් ” විහාරා ” ධීවර යාත්‍රාව සොයාගෙන එය ගොඩබිමට ගෙන ඒමට කටයුතු කළා. ඒ් අනුවයි ” විහාරා ” යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනා ඊයේ සවස කන්දකුලිය ධීවර තොටුපොළ වෙත රැගෙන ආවේ.




