spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගොනු කළ රිට් පෙත්සමට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසිනුයි මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනක යන්ත්‍ර වලට වෙන් කරනු ලබන ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බවයි.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව දිවුරුම් පෙත්සමේ සඳහන් වනවා.

ඉන් අනතුරුව ඉකුත් ජනවාරි මස 18 වනදා මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන, විදුලිය ඇතුළු පහසුකම් සම්පාදනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතන වල ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී විදුලිය හා ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර බව එම බලධාරීන් වෙතින් ප්‍රකාශ වූ බවයි දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ.

අනතුරුව මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති වරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවත් එහි සඳහන් කර තිබෙනවා.

එහිදී මැතිවරණ කටයුතුවලට අදාළ ඉන්ධන හා විදුලිය සම්පාදනය කරගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත විදේශ විනිමය සපයා ගැනීම අති දුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් එම පෙත්සමේ සඳහන්.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 10,000 ක මුදලක් ඇස්තමේන්තු ගත කර වෙන් කොට ඇති බවත් එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉකුත් ජනවාරි මස 24 වනදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100ක මුදලක් මුදාහරිණ ලෙස ඉල්ලා සිටියද ඉන් රුපියල් මිලියන 30ක පමණ මුදලක් ජනවාරි මස අවසන් දින ලැබුණු බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්.

මෙම තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බවයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය හා සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?