ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඊයේ (06) පස්වරුවේ මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ආගමික වතාවත්වල නිරත වුණා.
අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වුණා.
උන්වහන්සේ මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වනු ලැබුවා..
අනතුරුව ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රදේශවාසී ජනතාව සමඟ පෙරහැර නැරඹීමටද එක් වුණා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, අම්බිකා සැමුවෙල් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.















