ආසියා කුසලාන තරගාවලිය වේලාසනින්ම උණුසුම් අතට හැරී ඇත. දකුණු ආසියාවේ සම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරග කවදත් උණුසුම්ය. තරගකාරීත්වය ද අන්තිම ඉහළය. එබැවින් එවැනි තරගවල ප්‍රවේශපත් අලෙවි වන්නේ උණුකැවුම් මෙනි. ප්‍ර වේශපත් ලබාගත නොහැකි දහස් ගණනක ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් වැඩිවීමෙන් නිල ප්‍රවේශපත්වලට අමතරව ව්‍යාජ ප්‍රවේශපත් අලෙවිය ද ජයටම සිදු කෙරේ. මෙවර ආසියා කුසලාන තරගාවලියේදි ව්‍යාජ ප්‍රවේශපත් අලෙවිය කොටු කරගැනීමට ඩුබායි පොලිසිය සැලසුම් සහගත දැලක් එලා ඇති බව කීවත්, ජාවාරම්කරුවන් අවහිර කිරීමට ඒ කිසිදු දැලකට නොහැකිය.
දශක ගණනාවක් පුරා බුකීකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඕනෑම තරගාවලියක අණසක පැතිරවීමට හැකියාව ඇති බැවින් මේ වනවිටත් තරගාවලියට බුකීකරුවන්ගේ සෙවණැල්ල වැටී ඇතැයි ඊයේ පෙරේදා පාකිස්තාන මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. එමිරේට්ස් දේශයේ සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කල්තියාම ආසියා කුසලාන තරගාවලිය නැරඹීමට සැලසුම් කරද්දී බුකීකරුවන් ද ඩොලර් මිලියන ගණනින් ආදායම් ලැබීමේ මෙහෙයුමට කල්තියාම සූදානම් වී ඇතැයි පාකිස්තානයේ පමණක් නොව ඉන්දියාවේ මාධ්‍යය ද පසුගිය දින කිහිපයේදී වාර්තා කළේය.
ඒ අතරින් බුකීකරුවන්ගේ විශාලතම ඉලක්කය බවට පත්වී ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයයි. ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ක්‍රිකට් තරගය ලෙස ලේබල් ගත වූ මේ සම්ප්‍රදායික පසමිතුරන්ගේ ක්‍රිකට් ගැටුම බුකීකරුවන්ට පොම්ප කර දෙන්නේ ඩොලර් මිලියන ගණනාවකි. එබැවින් පසුගිය දින කිහිපය පුරාම සිදු වූයේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන් වන්නේ කවුරුන්දැයි අනාවැකි පළ කිරිම නොව මෙවර තරගය කෙතරම් දුරට බුකීකරුවන්ගේ අණසකට යටත්ව තිබේදැයි සොයා බැලීමය.
ආසියා කුසලාන තරගාවලිය දැඩි අධීක්ෂණයට ලක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ උපක්‍රම යොදවන්නට ඇත. එහෙත් හැකියාව ලැබී තිබුණේ මේ වන විට මුළු තරගයම බුකීකරුවන්ට අවශ්‍ය පරිදි සැලසුම් කර (Fixed) හමාරවී ඇති බව ඉන්දියාවේ මෙන්ම පාකිස්තානයේ ද ක්‍රිකට් බලධාරිහු හොඳින්ම දනිති.
ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් යනු කොහොමත් දෙරට අතර දේශපාලන උණුසුම ද ඉහළ යන කාරණාවකි. එය දෙගුණ තෙගුණ වන්නේ තරගයෙන් පසුවය. පරාජිත කණ්ඩායම ඉන්දියානුවන් නම් ඔවුන්ගේ නිවාසවලට දෙයියන්ගෙම පිහිටය. පාකිස්තානුවන් පරාජය කරළියට එක්වන්නේ මුදලට තරග පාවාදීමේ චෝදනාවත් සමඟය. ඉතිහාසය පුරාම සිදු වූයේ ඒ ටිකමය. ඇරත් ඉන්දු – පාකිස්තාන තරග බුකීකරුවන්ට අවශ්‍ය පරිදි පැවැත්වෙන්නේ අද ඊයේක සිට නොවේ. එහි ඉතිහාසය අනූව දශකය දක්වාම ඇදී යන්නකි.
එහෙත් එකල අද මෙන් තාක්ෂණය දියුණු මට්ටමක නොතිබූ බැවින් එවැනි සිදුවීම් වාර්තා වූයේ අල්ප වශයෙනි. වාර්තා නොවූ සිදුවීම් එමටය. ඉන්දු – පාකිස්තාන තරග පමණක් නොව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ තරගවලදී ද මුදලට තරග පාවාදීමේ සිදුවීම් ජයටම කෙරුණු බවටත් තොරතුරු අනාවරණය වී තිබිණි.
ඒ බෝම්බය මුලින්ම පුපුරුවා හැරියේ ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරු හෂාන් තිලකරත්නය. ඔහු කියන්නේ 92දී සිටම බුකීකරුවන්ගේ මුදලට තරග පාවා දුන් ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටි බවය.
කලක් බස්නාහිර පළාත්සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හෂාන් 2012 වසරේදී මේ පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පළාත් සභාවේ හැන්සාඩ් ගතවී තිබේ. එවකට ඉන්දියාවේ ‘හින්දු‘ පුවත්පත ඒ පිළිබඳ විශේෂ වාර්තාවක්ද පළ කර තිබිණි.
‘මට මේක මගේ හෘද සාක්ෂියට එකඟව කියන්න පුළුවන්. තරග පාවාදීම අද ඊයේ ආරම්භ වුණු දෙයක් නෙවෙයි. මගේ දැනුමට අනුව ඒක 1992 ඉඳන් සිද්ධ වුණා. මම මේක බොහොම වගකීමෙන් කියනවා‘
හින්දු පුවත්පත ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුණේ එලෙසය.
විවිධ කාලවලදී මේ සිදුවීම් හෙළිදරව් කිරීමේ තර්ජන තිබුණා. නමුත් අදාළ අය ඇතැම් අයට මුදල් දීලා ඒක යටපත් කළා.‘ හෂාන් එසේ ප්‍රකාශ කර තිබිණි.
කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයා ද වන හෂාන්ට තිබූ අනෙක් සැකය වූයේ 2011 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමේ කාලසීමාව පිළිබඳ බැව් හින්දු පුවත්පත වාර්තා කර තිබිණි.
‘ලෝක කුසලානයට කණ්ඩායම තෝරා ගත්තේ ජනවාරි 7 වැනිදා. මගේ ප්‍රශ්නය ඇයි එවර අයිපීඑල් වෙන්දේසියට කළින් දවසේම අපේ කණ්ඩායම තේරුවේ..? ඒක තිබුණේ ජනවාරි 8 වැනිදා. ඒ වෙද්දී අපිට ලෝක කුසලානයට කණ්ඩායම තෝරන්න තවත් දින ගණනාවක්ම ඉතුරුවෙලා තිබුණා.‘ හෂාන් එකළ මතු කළ තර්කය අදටත් වලංගු බව පසක් වන්නේ දැන්ය.
‘අපේ රටේ ඔබ නොදන්න ඒත් මම දන්න පැත්තක් තියෙනවා. අපි මේ ගැන සාකච්ඡා කරලත් තියෙනවා. ඕනෑම කෙනකුට මේක විමර්ශනය කරන්න පුළුවනි. ඇයි අයිපීඑල් වෙන්දේසියට කළින් කණ්ඩායම තේරුවේ..?‘ ඔහු නැවත නැවතත් එකම පැණය විමසන්නේ අපට යමක් අවබෝධ කරගැනීමටය.
‘මේවා සිද්ධ වෙන්නේ 1992 අවුරුද්දේ ඉඳලයි. මේකට සම්බන්ධ අය කවුද කියලා මම දන්නවා. වගකීමෙන් කියන්නේ. කාලෙන් කාලෙට මේක ඉස්මතු වුණත් ඒක හොර රහසේම යටපත් කර දැමුවා.‘ හින්දු පුවත්පත ඔහුගේ ප්‍රකාශය එසේ සටහන් කර තිබේ.
ලොව ඕනැම ක්‍රිකට් ක්‍රීඩකයකුට, පුහුණුකරුවකුට, තේරීම් කමිටු නිලධාරියකුට හෝ පරිපාලකයකුට මුදලට තරග පාවාදීමේ හැකියාව ඇති බව ඔහු මේ ලියුම්කරු සමඟ අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ බොහෝ ප්‍රකාශවලට අලගු තැබූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ ද වෙති. පාකිස්තාන පිලේ හිටපු විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන ෂොයිබ් අක්තාර් ද ඒ අතර සිටී. ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලය ඇතුළත මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයන් 12 දෙනකු කණ්ඩායමට ක්‍රීඩා කළ බව ඔහු කළ ප්‍රකාශය පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රය බලවත් ලජ්ජාවට පත් කළ සිදුවීමක් විය. එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තිගැස්මට කාරණාවක් වූවත් සිය ක්‍රීඩකයන්ගේ මුදලට ඇති ගිජුකම දන්නා පාකිස්තාන ජනතාවට නම් එය එතරම් පුදුමයට පත් විය යුතු ප්‍රකාශයක් වූයේ නැත. කොහොමටත් ලොව වැඩිපුරම ක්‍රිකට් තරග මුදලට පාවා දෙන්නේ පාකිස්තාන ක්‍රීඩකයන් බව ඉතිහාසය සාක්ෂි සපයයි.
‘මට කියන්න තියෙන එකම දේ මෙච්චරයි. මම නම් කවදාවත් මේ ලැජ්ජා සහගත කටයුතුවලට හවුල් වුණේ නෑ. මගේ අම්මා මට කියලා තියෙන්නේ කවදාවත් සල්ලිවලට රට විකුණන්න එපා කියලයි. ඒත් මං සෙල්ලම් කළ කාලයේ මුදලට තරග පාවාදුන් සගයන් 12 දෙනෙක් ගැන මම හොඳින්ම දන්නවා.‘ ෂොයිබ් කළ ප්‍රකාශයත්, හෂාන් තිලකරත්න 2012දී පළාත් සභාවේදී කළ ප්‍රකාශයත් එවැනි ක්‍රීඩකයන් සොයා දඬුවම් දීමට හෝ ඉදිරියේදී සිදුවිය හැකි තරග පාවාදීමේ සිදුවීම් වැළැක්වීමට හෝ බලධාරීන්ගේ ඇස් විවර කිරීමට තරම් වැදගත්කමක් නොලැබීම අතිශය කනගාටුදායක කරුණකි.
ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවන බව අසූව දශකයේ මුල් භාගයේදී ප්‍රචලිත වූයේ ක්‍රීඩකයන් අතර පිටියේදී සිදුවූ රණ්ඩු සරුවල් හේතුවෙනි. අනුව දශකය වෙද්දී ක්‍රීඩාවේ මහත්මාගුණය අන්තිම අඩියට වැටුණේ මුදලට තරග පාවාදීමේ සිදුවීම් නිසාය.
එහි බරපතළකම හොඳින්ම පැහැදිලි වන්නේ 2000 වසරේ ලෝක ක්‍රිකට් පිටිය එහෙම පිටින්ම උඩුයටිකුරු කළ මහා පාවාදීමේ තොරතුරු අනාවරණය වීමත් සමගය. තරග පාවාදීමේ ජාවාරමේ මහමොළකරු දාවුඩ් ඉබ්‍රාහිම්ගේ මුදලට ලොල්ව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය කෙළෙසූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනකු වූහ. එහි පළමුවැන්න ඉන්දීය පිලේ හිටපු නායක මොහොමඩ් අසාරුදීන්ය. දෙවැන්නා දකුණු අප්‍රිකා පිලේ හිටපු නායක හැන්සි ක්‍රොන්යේය. තවත් ක්‍රීඩකයන් රැසක් ඉබ්‍රාහිම්ගේ දැලේ පැටලී සිටි බව පසුව වාර්තා විය.
තරග පාවාදීමේ චෝදනාව දුරදිග ගිය අතර, ක්‍රීඩකයන්ට උසාවි ගාණේ රස්තියාදු වීමට ද සිදුවිය. රටවල් කිහිපයක්ම ඒකාබද්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ අතර, තරග පාවා දුන් ක්‍රීඩකයන්ගේ සාක්ෂි ද සටහන් කරගත්තේය. එහිදී අනාවරණය වී ඇත්තේ බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ තරග පාවාදීමේ සම්බන්ධිකරණ කටයුතු අසාරුදීන් විසින් සිදුකළ බවය. හැන්සි ක්‍රොන්යේ වරක් උසාවියේ හඬා වැළපෙමින් කියා තිබුණේ ද ඒ ටිකමය.
එවකට දකුණු අප්‍රිකා පිලේ හිටපු ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස්ට තරග පාවාදීම වෙනුවෙන් අමෙරිකා ඩොලර් 15,000ක් ගෙවූ බව ද ඔහු උසාවියේදී පිළිගෙන තිබිණි. අවසානයේ ගුවන් අනතුරකට ලක්ව ක්‍රොන්යේ ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අතර, අසාරුදීන්ට ජීවිතාන්තය දක්වා තහනමක් පැනැවීමට අධිකරණය තීන්දු කර තිබිණි. ලොව සුපිරි ක්‍රීඩකයන් පවා මුදලට තරග පාවාදීමේ ගොදුරක් වී ඇති බවට හොඳම නිදසුන ද එයමය. ක්‍රොන්යේ මෙන්ම අසාරුදීන් ද ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයෝ වෙති. අසූව දශකයේ මුල් භාගයේදී අසාරුදීන් සිය ක්‍රීඩා ජිවිතය ආරම්භ කළේ ටෙස්ට් පිටිය සොලවමිනි. ඔහු සිය පළමු ටෙස්ට් තරග 3දිම ශතක රැස් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය මුද්‍රාව තැබූ අසමසම දස්කම් ඇති පිතිකරුවෙකි. අවසානයේ බැලූ විට ඔහු සිය ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලය එහෙම පිටින්ම ගෙවා දමා ඇත්තේ බුකීකරුවන්ගේ සෙවණේය. ඉන්දියාවේදිත්, සාජා නුවරදිත් තරග පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිටි ඔහුගේ ජංගම දුරකතනයට වරින් වරට බුකීකරුවන්ගෙන් ලද ඇමැතුම් රැසක්ම ඉන්දීය බුද්ධි අංශ සොයා ගෙන තිබූ අතර, දෙපාර්ශ්වය අතර සියලු සබඳතා හෙළිදරවු වී තිබිණි. පසුකාලීනව දේශපාලනයට පිවිසි අසාරුදීන්ගේ ක්‍රිකට් තහනම මීට වසර කිහිපයකට පෙර ඉවත් කිරීමට අධිකරණය තීන්දු කර තිබිණි. එහෙත් ඒ වනවිට ඔහුගේ හොඳම කාලය ගෙවී ගොසිනි.
එම සිදුවීම් ජාලයේ ඉහළ මට්ටමේ භූමිකාවකට පණ දුන් සජීව් චවුලා අත්අඩංගුවට පත් වීමෙන් පසු කළ ප්‍රකාශය ද තවමත් වලංගුය. එංගලන්තයේ පදිංචිව සිටි ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවේ පොලීසියට හසුවී එරට අධිකරණයකට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඔහු කියන්නේ ලොව කිසිදු ක්‍රිකට් තරගයක් සාධාරණව නොපැවැත්වෙන බවය. ප්‍රේක්ෂකයන් දහස් ගණනක් එක්රොක්වී නරඹන ලොව සියලු ක්‍රිකට් තරගයක්ම පාහේ මුදලට පාවාදීමේ ක්‍රියාදාමයේ ගොදුරක් බවය. ඔහුට අනුව තරග පාවාදීමත් මාෆියා වැඩකි. ඊට සම්බන්ධ වූවාට පසු ගැලවිල්ලක් නැත. එය කෙළවර වන්නේ මරණයෙනි.
ක්‍රිකට් තරග පාවාදීම ඕනෑම ආකාරයකින් සිදු විය හැකිය. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ සිට තරගය නිමා වනතුරු එක දිගටම සිදුවන ඔට්ටු තැබීමේ ක්‍රියාවලියේදී ඇතැම් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හෝ කාර්ය මණ්ඩලයේ හෝ තේරිම් කමිටුවේ නිලධාරීන් හෝ තරගයේ තොරතුරු පිටතට දීමේ හැකියාව ඉහළය. ඩොලර් දහස් ගණන් විසි කළ හැකි නම් ඔවුන්ගෙන් තොරතුරු ගැනීම බුකීකරුවන්ට කජු කනවා වැනි වැඩකි. තරගයේ ඇතුළාන්තයේ තොරතුරු (Inside Information ) එක්රැස් කිරීම හා බෙදා හැරීම මඟින් එසේ මුදල් උපයා ගැනීමේ හැකියාව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්වයන්ට තිබෙන අතර, ඔට්ටු තැබීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ එම තොරතුරු මත පදනම්වය. පළමු ඕවරය යවනු ලබන පන්දු යවන්නා, ආරම්භක පිතිකරුවන්, පළමු පන්දුවට මුහුණ දෙන පිතිකරුවා, ඊළඟ පන්දුව නිපන්දුවක්ද, වයිඩ් පන්දුවක්ද යන වග, ඊළඟ පන්දුවට පිතිකරුවාගේ ප්‍රතිචාරය දැවීයෑමක්ද, නිදැල්ලේ යැවීමක්ද, ඊළඟ ඕවරය යවනු ලබන පන්දු යවන්නා ඇතුළු ඕනෑම තොරතුරක් ලබාදීමෙන් ඩොලර් මිලියන ගණන් උපයා ගත් පුද්ගලයෝ ක්‍රිකට් ඉතිහාසයේ සිටින බව සහතිකය.
ඇතැම් අවස්ථාවකදි යම්කිසි පුහුණුකරුවකුට පිටියේ පන්දු රැකීමේ නිරතව සිටින තම කණ්ඩායමේ නායකයාට (විස්සයි20 තරගයක් නම්) ඕවර 20ම යැවිය යුතු පන්දු යවන්නන්ගේ පෙළගැස්ම සටහන් කරදී එම තොරතුරු පිටතට දීමෙන් ඩොලර් මිලියන ගණනක් එකතැන සිටි උපයා ගැනීමේ හැකියාවද පවතී. අතීතයේදී ලොව ඕනෑම කණ්ඩායම එවැනි සිදුවීම් වන්නට ඇත. වර්තමානයේදිත් සිදුනොවන බවට අනුමාන කිරීමට ද පුළුවන.
තරග පාවාදීම කලාවක් නම් එහි පිකාසෝ පාකිස්තානය බව කියන්නේ ඉන්දියාවය. එහෙත් පාකිස්තාන ක්‍රීඩකයන් මෙහෙයවනු ලබන ප්‍රධානතම බුකීජාලයේ අක්මුල් ඉන්දියාවේ ව්‍යාප්ත වී ඇතැයි ඔවුන්ට අමතකය.
මීට වසරකට දෙකකට පෙර බදුල්ලේ බව හඟවා ඉන්දියාවේ මොහාලි නුවර පැවැති ව්‍යාජ ක්‍රිකට් තරගයක් පොලිසිය විසින් වැටලු අවස්ථාවක් ද වාර්තා වී තිබිණි. එම සිදුවීම ‘දිනමිණ‘ සහෝදර පුවත්පතට වාර්තා කරනු ලැබුවේද මේ ලියුම්කරු විසිනි. බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය මගින් මෙහෙය වූ තරගාවලියක් බවට පෙන්නුම් කරමින් මේ තරගාවලිය මොහාලි නුවරට කිලෝමීටර් 16ක දුරින් පිහිටි සවාරා නමැති ගම්මානයේ පවත්වා තිබූ අතර, මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගලස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන බවට ඊට පෙර කාලසටහනක් ද නිකුත් කර අන්තර්ජාලයට මුදා හැරීමට බුකීකරුවන් කටයුතු කර තිබිණි.
මේ ව්‍යාජ ක්‍රිකට් තරගාවලියට මොහාලි පොලිසිය වටලද්දී මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වේස් මහරූෆ් ඇතුළු ක්‍රීඩකයන්ගේ නම් සටහන් වූ ක්‍රීඩා ජර්සිවලින් සැරසුණු පන්ජාබ් පළාතේ නාඳුනන ක්‍රීඩකයෝ පිරිසක් මුව ආවරණ පලඳා ක්‍රීඩා කරමින් සිටි බව ද වාර්තා විය. ඔවුන් මුව ආවරණ පළඳා ක්‍රීඩා කරනු ලැබුවේ එය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අතරතුර පැවැති නිසා බව ඒත්තු ගැන්වීමටය. නමුත් එමඟින් ඔවුන්ගේ මුහුණු වසා ගැනීම සැබෑ චේතනාව විය. මේ ආකාරයෙන්ම හොර අයිපීඑල් තරගාවලියක් පසුගියදා ගුජරාට් පොලිසිය විසින් ද වටලා තිබිණි.
මෙවර ආසියා කුසලාන තරගාවලිය පැවැත්වෙන බුකීකරුවන්ගේ පාරාදීසයක් බඳු එමිරේට්ස් දේශයේදී තරග පාවාදීමක් සිදු නොවනු ඇතැයි අනුමාන කෙරෙන්නේ මෙවැනි කරුණු හේතුවෙනි. තරගාවලිය සාර්ථකව නිමාවට පත්වනු ඇත. ජයග්‍රාහී කණ්ඩායමට ආසියා කුසලානය හිමිවනු ඇත. එහෙත් සැබැවින්ම අවසානයේ බලද්දී ජයග්‍රාහකයා බුකීකරුවෝය. පරාජය වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත