මගේ හිතේ ආශාවක් ඇතිවුණා රොමේෂ් එක්ක යන්න

ඔබටත් මටත් අපේම කියා කතාවක් ඇත . එමෙන්ම ඔවුන්ටද ඔවුන්ගේම කියා කතාවක් ඇත .ඒ කතාව කියා ගන්නට බැරිව හිතේ හිරකරගෙන දුක් විදින්නෝ බොහෝය. චාරුද එවැන්නියකි. ඇය දැන් හතලිස් අට වැනි වියෙහි පසු වන්නීය. නමුදු ඇගේ පෙනුම ඊට වඩා අඩුය.

මේ චාරු අපට කියූ ඇගේ කතාවයි.

“කරුමෙ ගෙව ගෙවා ඉන්නෙ නැතිව ඔන්න ඔය කාලකන්නි ජීවිතය අත් ඇරලා දාපන්. මිනිහෙක් නම් කොහෙන් හොයා ගන්න බැරිද? මොකෝ උඹ වයසට ගිහිල්ලද ? ”

පුංචි අම්මා උදේ හවස මන්තරයක් වගේ මතුරන්න ගත්තම මට හිතුනා හිතේ අමාරුව නැති කරගන්න එයාගේ ගෙදර ආව එක වැරදියි කියලා”.

ඇයි එහෙ ගියේ ඔයාගේ පවුලෙ කවුරුවත් නැද්ද?

“නැහැ මට නෑයෝ ඉන්නවා. මගෙ අම්මයි තාත්තයි අක්කයි අයියයි හැමෝම ඉන්නවා. ඒත් ඒ කවුරුවත් මා එක්ක හොඳ නැහැ.”

ඒ මොකෝ?

“මම විවාහ වුණේ හිතුවක්කාරකමට. මම යාළු වුණේ අපේ පවුලට ගැලපෙන කෙනෙක් එක්ක නෙමෙයි. මං හිතුවේ එයාව මට ගැලපෙනවා කියලා. ඒ නිසා මං කවුරුවත් කියන දේවල් ඇහුවේ නැහැ. අම්මලා මාව පවුලෙන් අයින් කෙරුවා. මම එයත් එක්ක ඇවිල්ලා දහදුක් වින්දා. ඒ විදින අතරේ තමයි මට රොමේෂ් හමු වුණේ. රොමේෂ් මහත්තයාගේ යාළුවෙක්. එයා වැඩ කලෙත් මහත්තයාගේ කන්තෝරුවේමයි. ඒ නිසා එයා නිතර නිතර අපේ ගෙදර ආවා.””

ගෙදරටත් හොරෙන් කසාද බැදපු මහත්තයා එක්ක ඇවිල්ලා දහදුක් වින්දා කියන්නේ ඇයි?

“ මම දැනගෙන හිටියේ නැහැ එයා බීමට ඇබ්බැහි වුණ කෙනෙක් කියලා. ඇවිල්ලා ටික දවසකින් තමයි මට තේරුණේ එයා තදින්ම බීමට ඇබ්බැහි වුණ කෙනෙක් කියලා.අපි නතර වුණේ එයාගේ මහගෙදර.

ඒ ගෙදර තව පවුල් දෙකක් හිටියා. ඒ අයගේ ළමයි හිටියා. මට ඒ පරිසරය ගැන කිසිම ඇල්මක් ඇති වුනේ නැහැ. ඒ ගෙදර බත් හැලි තුනක් ඉදුණා. මහත්තයාගේ අම්මා මට හැමදාම වෙනස්කම් කෙරුවා.

මම එයාට කිව්වා අපි කුලි ගෙදරකට යමු කියලා. අන්තිමට අපි පුංචි ගෙදරකට ගියා. ඊට පස්සේ මහත්තයාගේ බීමත්කම වැඩි වුණා. සමහර දවස්වලට එයා මට හොඳටම පහර දුන්නා.

මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා මම පුංචි අම්මගෙ ගෙදර ගියා. එයා මාව පන්න ගත්තා. මම ආයෙත් මහත්තයා ළඟට ආවා. එයා මට ආයෙමත් පහර දුන්නා. මම පොලීසි ගියා. පොලීසියෙනුත් මට පිළිසරණක් ලැබුණේ නැහැ.”

ඇයි මහත්තයා ඔයාට ගහන්නේ?

“මම කිව්වේ මහත්තයාගේ යාළුවෙක් නිතර නිතර අපේ ගෙදර ආවා කියලා. ඒ යාළුවා ගැන කිය කියා මහත්තයා මට බැන්නා. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට අපි අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ.

නමුත් නිතර නිතර මහත්තයා මට බනින්න ගත්තම මගේ හිතේ තරහක් ඇති වුණා. ඒ නිසාම තමයි මම රොමේෂ් එක්ක යාළු වුණේ . රොමේෂ් විවාහ වුණ කෙනෙක් නෙමෙයි. එයා මට කිව්වා එයත් එක්ක යන්න එන්න කියලා. එත් මම බය වුණා එකපාරකුත් හිතුවක්කාර කමක් කරලා ආයෙත් ඒ වගේම දෙයක් කරන්න. නමුත් මගේ හිතේ ආශාවක් නොතිබුණාම නෙමෙයි රොමේෂ් එක්ක යන්න.”

ඉතින්?

“මහත්තයා කවුරුවත් හිතපු නැති විදිහට අනතුරකට ලක් වුණා. එයාට හොදටම අමාරු වුණා. ඇක්සිඩන්ට් එක වෙලා සතියකට පස්සේ මහත්තයා මැරුණා. එයා මැරුණම එයාගේ මිනිය ‍අම්මලා අරගෙන ගියා. එත් මට එ ගෙදර යන්න අවසර දුන්නේ නැහැ. මොනවා වුණත් ඒ මගේ මහත්තයානේ. ඒත් මට එයාගේ මිනිය බලන්න යන්න බැරි වුණා. අවමඟුල දවසේ මම කනත්තට ගියා.”

ඔයාට එයාගේ මිනිය බලන්න අයිතියක් තියෙනවානේ.?

“නැහැ අපි දෙන්නා අවුරුද්දක් විතර එකට ජීවත් වුණා විතරයි. කසාද බැඳලා හිටියේ නැහැ. මම මහත්තයාට කිව්වා කසාද බදිමු කියලා. ඒත් එයා ඒ ගැන උනන්දු වුනේ නැහැ. ඒ නිසා මහත්තයාගේ වැඩපලෙන් ලැබුණ කිසිම දෙයක් මට ලැබුණේ නැහැ.”

එතකොට රොමේෂ්ට මොකද වුණේ?

“ මම හිතුවා මහත්තයා නැති වුණාට එයා මට ඉන්නවානේ කියලා. එත් මහත්තයාගේ මරණයෙන් පස්සේ එයත් මාව මඟ ඇරියා. එයා කාටත් හොරෙන් රට ගියා. මට යන්න එන්න තැනක් තිබුනේ නැහැ. ගෙවල් කුලිය ගෙවාගෙන ජිවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මේ හැම දෙයක්ම වෙලා මාසයකට විතර පස්සේ මම මගේ ගෙදර ගියා. මම හිතුවා හැමදෙයක්ම නැති වෙලා අසරණ වෙලා ඉන්න මට අම්මලා පිහිට වේවි කියලා. එත් ඒ සිතුවිල්ල හීනයක් විතරයි. මම ගෙදර ගිය දවසේ අම්මා මගේ ඇගට කඩාගෙන පැන්නේ යක්ෂණියක් වගෙයි.”

ඇයි අම්මා මොකද කිව්වේ?

“ උඹට මෙහෙ ඉඩක් නැහැ. උඹ මැරුණා කියලා අපි දානෙකුත් දුන්නා .

මෙහෙ උඹේ කවුරුවත්ම නැහැ. ආයෙත් මෙහෙ නාවට කමක් නැහැ. උඹ එන්න ඇත්තේ හිඟමනටනේ. ඉදා මේ මං උඹට ඒකාලේ දෙන්න තියාගත්තුවා. ආයේ එහෙම මෙහෙ එනවා නෙමෙයි. ” එහෙම කියලා අම්මා මාව ගෙදරින් පන්න ගත්තා අම්මා මගෙ පැත්තට විසි කරපු පොදිය මම අරගෙන ආවා.

ඒකේ තිබුණේ මගෙ රත්තරන් බඩුයි බැංකු පොතයි . බැංකු පොතේ ලක්ෂ හතරක් තිබුණා. මම ගෙදරින් ටික දුරක් ආවා. මම පාරේ අයිනකට වෙලා කල්පනා කළා . ඇයි මම මේවා ගන්නේ කියලා. එයාලට මාව එපානම් මට ඒගොල්ලන්ගෙන් කිසිම දෙයක් ඔන නැහැ කියලා හිතුවා .

මම ආයෙමත් ගෙදර ගියා. අම්මා දොර ඇරියේ නැහැ. මම කුස්සි‍ය පැත්තෙන් ගියා. ඒ යනකොට අම්මා බත් කනවා. අපේ අම්මා හරි නපුරුයි. මම අම්මා ඉන්න තැනට අර මල්ල වීසි කරලා ‍ගෙදරින් ආවා. එදායින් පස්සේ මම මගේ කියන කිසිම කෙනෙකු ළඟට ගියේ නැහැ.” –

ඔයා ජීවත් වුණේ කොහොම ද?

“මම කුලියට හිටපු ගෙදර අක්කා බොහෝම හොඳ කෙනෙක්. එයා මට කඩේක රස්සාවක් හොයලා දුන්නා. මම ඒ කඩේ රස්සාවට ගියා. මට පඩියක් ලැබුණා.

කුලිය දුන්නට පස්සේ මහා ලොකු ගානක් ඉතිරි වුණේ නැහැ. ටික කාලෙකට පස්සේ මම මැදපෙරදිග ගියා. ඒ ගිය ගමනෙදි මට සුජිත්ව හමු වුණා. සුජිත් නිසා තමයි මම ආයෙත් අමාරුවේ වැටුණේ.”

ඒ කියන්නේ?

“සුජිත් මට හමු වුණේ සවුදියෙදි. ඇත්තම කිව්වොත් අපි අතර සම්බන්ධයක් ඇති වුණා. සුජිත් බැදපු කෙනෙක්. ඒත් එයයි මායි අතර බැඳීමක් ඇති වුණා.

අපි ලංකාවට ආවහමත් හමුවුණා. දවසක් දෙකක් හෝටලක නතර වුණා. සුජිත් මට කලින් එක අවුරුද්දක ලංකාවට ආවා. මම ආවේ මාසයකට පස්සේ. මම දන්නේ නැහැ සුජිත් මොනවා කළාද කියලා ලංකාවෙදි. එයා මට කිව්වා පාර්සලයක් තියෙනවා එයාගේ යාළුවෙකුට ගිහින් දෙන්න කියලා. මම දෙතුන් පාරක්ම සුජිත් දෙන පාර්සල් එයාගේ යාළුවන්ට ගිහින් දුන්නා. එත් එක දවසක් මාව පොලීසියට කොටු වුණා. එදා තමයි මම දැන ගත්තේ මම එහාට මෙ‍හාට ගෙනිහිල්ලා තියෙන්නේ “කුඩු” කියලා. මට හිරේ එන්න වුණා. දැන් අවුරුදු දෙකතුනක් තිස්සේ මම හිරේ.”

කවුද ඔයාව බලන්න එන්නේ?

“මගෙ පොඩි මල්ලි එනවා. එයා දැන් නීතිඥයෙක්. මම හිතුවේ නැහැ එයා මාව බාර ගනීවි කියලා. මල්ලි හරිම ගුණ යහතපත් තව ටික කාලයකින් මම එළියට යනවා. “මල්ලි මට පොරොන්දු වෙල තියෙන්නේ මාව එයා බාර ගන්නවා කියලා. සමහර විට මගේ අපල කාලේ ගෙවිලා ඇති.”

ඇය එසේ පවසන්නට වුයේ සුසුමක් හෙළමිනි.