බදු මුදල්වල රුපියලක් හෝ දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවට වන සහතිකය බදු ගෙවන මහජනයාට ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික බදු සතිය වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (02) පෙරවරුවේ එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බව පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමමින් සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ සම්පූර්ණ කතාව,
“අපේ රට තුළ බදු පිළිබඳ තිබෙන ආකල්පය සුබවාදී නැහැ. බදු නාස්ති වන බවටත්, බදු මඟහරින බවටත්, බදු ගෙවීමේ ව්‍යාකූලත්වයක් පිළිබඳවත් සංවාදයක් තිබෙනවා. ඒ වගේම බදු මඟහැරීම සඳහා වූ උපදෙස් ලබා දීමට ආයතන ගොඩනැඟී තිබෙනවා. මේ සියල්ල ඇති වී තිබෙන්නේ අපේ රටේ බදු එකතු කිරීම සඳහා පවතින පරිපාලන යාන්ත්‍රණයත්, බදුවලට සිදු වූ විනාශයන් පිළිබඳ තිබෙන සමාජ අවබෝධයත් නිසයි. එම නිසා බදු ගෙවීම සහ ඒ සඳහා වන යාන්ත්‍රණය සහ පොදු ජනතාව තුළ තිබෙන ආකල්පය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කළ යුතුව තිබෙනවා.
අප සතුව තිබෙන ඇතැම් දත්ත දෙස බැලූ විට එය සුබවාදී තත්ත්වයක් නොවෙයි. අපේ සමාගම් ලියාපදිංචි කර තිබෙන අයගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ 43%යි. ඒ වගේම 2023-2024 වසරවල පුද්ගල ආදයම් බදුවලින් වාර්තා ලබා දී තිබෙන්නේ 23%යි. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දී තිබෙන්නේ 46%යි. ඒ වගේම PAYE Tax ගෙවන අයගේ වාර්තා ලබා දී තිබෙන්නේ 18%යි. මේ කිසිදු දත්තයක් 50% ඉක්මවා යන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයයි.
මෙයට හේතු වී තිබෙන්නේ පැවති දේශපාලන අධිකාරිය විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචනයයි. ඒ නිසා පළමුව කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවන බවට වන සහතිකය ජනතාවට ලබාදීමයි. එය මටත්, අපේ දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා. ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබා දෙනවා.
ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහ ජනතාවගේ බදු මුදල්වලින්, අණ පනත්වලින් යම් වරප්‍රසාද ලබා දි තිබෙනවා, ගැසට් නිවේදනවලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. එහෙත් අපි එම වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අතහැර තිබෙනවා. මහජනයාගේ සෑම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයකින්ම මා විසින් කප්පාදු කර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුත් එහෙමයි. ඒ නිසා අපි තිර අධිෂ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය එතැනින් ලබා දෙනවා.
ඒ වගේම අපි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟිය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියා අතර තිබෙන සම්බන්ධය ඉතා වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියක් කරා ගෙන යාමට අපි විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන වංචා දූෂණ වැළැක්විය යුතුයි. ඔබ දන්නවා ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුට තමන්ගේ ඡායාරූපයක් සහ තමන්ම ගොස් ඇගිලි සලකුණු ලබා දිය යුතුයි. එහෙත් පාතාල කණ්ඩායම් නායකයන්ට ඇගිලි සලකුණු වර්ග තුනකට, ඡායාරූප වර්ග කිහිපයකට ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබෙනවා. අපේ නීතිමය රාමුව ආරක්ෂා කර ගැනීමට තිබෙන ආයතන විසින්ම එම රාමුව බිඳ දමා තිබෙනවා.
ඒ, වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ ලොකර් එකේ තිබී ඔහුට වසර තුනකින්වත් ඉපැයිය නොහැකි මුදලක් ලැබෙනවා. කස්ටම් එක ගැන විශාල චෝදනා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළත් එම තත්ත්වය තිබෙනවා. ඒ නිසා අපේ රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. මෑතකදී රේගුවේ බහාලුම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධි ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා. එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍ය ද සිටිනවා.
අපි ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවා ද අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදුවෙනවා නම් මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද ඒ හැම දේටම දඩුවම් ලබාදෙනවා. ඒ නිසා බදු මුදල් පිළිබද ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු මුදල් එකතු කිරීම අතර තිබෙන ප්‍රශ්නයක් නොවෙයි.
එතැනින් එහා ගිය ජාලගත ප්‍රශ්නයක්. විවිධ ආයතනවලට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. මෙය එකිනෙකට සම්බන්ධ වූ ජාලයක්. ඒ නිසි අපි රාජ්‍ය යාන්ත්‍රණයක් ලෙස මීට සූදානම් විය යුතුයි. ඊට සූදානම් නැති ඕනෑම අයෙකුට ඉවත්ව යා හැකියි. මෙම යාන්ත්‍රණය බිඳ දැමූවේ නැත්නම් මේ රට මෙතැනින් අගලක්වත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.
ව්‍යාපාරිකයන් ඉතා සාධාරණ ලෙස ව්‍යාපාර කර ඔවුන් සාධාරණ බදු මුදලක් ආණ්ඩුවට ගෙවනවා. එය ආරක්ෂා කර ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. ඒ වගේම වෙහෙස මහන්සියෙන් උපයන ධනයෙන් යම් ප්‍රමාණයක් රජයට ගෙවීම වාගේම, එය ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. ඒ නිසා බදු මුදල් ගෙවන හැම කෙනාටම මම ආරාධනා කරනවා ඔබ ගෙවන්න. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා කියලා. එක රුපියලක් වංචා කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් මැදිහත් වන බවට සහතික වෙනවා.
එහිදී බලය හෝ සමාජ පසුබිම කිසිසේත් අදාළ කර ගන්නේ නැහැ. එම සමස්ත කළු සමාජය ශුද්ධ කිරීමෙන් පමණයි අපි අපේක්ෂා කරන බදු ඉලක්ක ළඟා කර ගත හැකි වන්නේ. ඒ නිසා බදු සතියේ අපේ අපේක්ෂාව මේ පිළිබඳව සමාජයට පණිවිඩයක් ලබාදීමයි. ඒ වෙනුවෙන් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතුයි.
අපි සාමාන්‍ය ජනතාවගේ පතුලෙම ජීවිතයට ගොස් බැලුවොත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප අසමත් වී තිබෙනවා. බොහෝ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන පළමු ප්‍රශ්නය බදු පිළිබඳ ප්‍රශ්නයයි. ඒ නිසා සෑම විටම වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙන්නේ මේ ආර්ථිකයේ චලනයට මේ බදු බාධකයක් ලෙසයි. ආර්ථික චලනයට බදු බාධකයක් නොවෙයි. මම සෑම ව්‍යාපාරිකයකුටම, කර්මාන්තකරුවකුට කියන්න සූදානම් ඔබ ඔබගේ කර්මාන්තයට තෙකලා විදුලිය නැත්නම් කියන්න, අපි විදුලිය ලබා දෙන්නම්. ඔබේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්න සුදුසු ඉඩමක් නැත්නම් අපි ඉඩමක් අරන් දෙන්නම්. ජල පහසුකම් නැත්නම් එය ලබා දෙන්නම්. ඊට සරිලන පාරවල් නැත්නම් පාරවල් හදලා දෙන්නම්. හැබැයි, බදු ගෙවන්න. කිසිවෙක් තමන්ගේ කර්මාන්තය හෝ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් බදු සංශෝධන ඉල්ලන්න එපා. අනෙක් සියල්ල, යටිතල පහසුකම්, නීති රාමු සකස් කර දෙන්නම්. කාර්යක්ෂමතාව මදි නම් සකස් කර දෙන්නම්. ඔබ සාධාරණ බද්ද ගෙවිය යුතුයි.
අපි කඩා වැටුණු ආර්ථිකයක ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කරමින් සිටිනවා. අපිට අභියෝගයක් තිබෙනවා. මා මෙය වැඩිය කියන්න අකැමැති වුවත් කිව යුතුයි. අපිට ලැබෙන්නේ නතර වූ රටක්. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවකදී දේශපාලනය මාරු වුණාට දුවමින් තිබෙන රටක් බොහෝ අයට හිමි වුණා. එහෙත් අපට හමුවෙලා තිබෙන්නේ නතර වූ රටක්. ආයෝජන, ව්‍යාපෘති, විදේශීය ණය ලබා දීම් ආදී සියල්ල නතර වූ රටක්. දැන් අපට පැවරී තිබෙන්නේ කුමක්ද? මේ සියලු පැතිවලින් නතර වී තිබෙන රට කොහොමද යළි අප පණ ගන්වන්නේ. පළමු අභියෝගය එයයි. ඒ නිසා තමයි විදෙස් ආයෝජන නතර වීම නිසා නැවතුන ව්‍යාපෘති නැවත පණ ගන්වන්න උත්සාහ කරන්නේ. මේ මාස දෙකතුනක් ඇතුළත ඒ නතර වූ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපට නැවත ආරම්භ කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා.
ඒ, නිසා අපට තිබෙන්නේ නතර වූ රටක් පණ ගන්වන්නයි. දුවමින් තිබෙන රටක් අල්ලා ගෙන යන්න පුළුවන්. හැබැයි, අපට තිබෙනවා රටක් පණ ගන්වන්න. අන්න ඒ පණ ගැන්වීමේදී අපි පළමුව තේරුම් ගත යුතුව තිබෙනවා මෙවැනි බිඳ වැටීමකට අපේ රට පාත්‍ර වෙන්න හේතු වූ සාධක මොනවාද මෙවැනි අර්බුදයකිනුත් දේශපාලන අධිකාරිය ලෙස අප, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ, සහ මෙරටේ පොදු ජනයා මෙවැනි කඩා වැටීම්වලිනුත් අත්දැකීම් ගන්නේ නැත්නම් අපි මිනිස්සු නොවෙයි. ඒ කඩා වැටීමට හේතුසාධක ඇතැම් අවස්ථාවල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්නුම් කර දී තිබෙනවා.
මෑතකදී වංචා දූෂණයේ යෙදුන අයට දඬුවම් දීමේදී ඒ විනිසුරුතුමන්ලා විසින් මේ කඩා වැටීමේ හේතු සාධක පෙන්වා දී තිබෙනවා. අපි අපේ ජීවන අත්දැකීම් තුළින් මේ කඩා වැටීමේ සාධක අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා අපට පැවරී තිබෙන කාරණය තමයි කඩා වැටුණු හේතු සාධක ඉතා හොඳින් හඳුනා ගෙන ඒවා නැවත සිදු වීම වැළැක්වීම.
කඩා වැටීමේ ප්‍රධාන කරුණක් තමයි, අපට නිසි පරිදි අපේ බදු ප්‍රතිසංස්කරණ සිදු කර ඉතාමත් සාධාරණ බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට අසමත් වීම. එය අප විසින්ම නිර්මාණය කරන ලද අර්බුදයක්. මට මතක විදිහට 1996 වගේ කාලයක ජාතික නිෂ්පාදනයෙන් 23%ක බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට ලැබුණා. එය 7.3% දක්වා අඩු වීම ආර්ථික අර්බුදය පුපුරා යෑමට එක් හේතුවක්. එ‘නිසා නිසි ලෙස බදු එක්රැස් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ අප විසින්ම ඇති කර ගත් අර්බුදයක්. එනම්, බදු නිසි ලෙස එක් රැස් කර ගැනීමට අසමත් වීම මත ඇති වූ අර්බුදයක්. විවිධ කාලවකවානුවල, විවිධ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ආර්ථිකමය මූලධර්ම නොවන දේශපාලනමය මූලධර්ම මත බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් ඇති වූ අර්බුදයක්. අප සියලු ආර්ථික තීරණ ගන්නේ ආර්ථිකමය මූලධර්ම මතයි. දේශපාලන ආර්ථික තීන්දු තීරණ ගැනීම රට පතුලටම කඩා වැටීමට එක් හේතුවක් වුණා.
අපට මේ අර්බුදයෙන් ගොඩඒමට බැරි නිසා බාහිර පාර්ශ්වයක බැඳීමකට යටත් වීමට සිදුව තිබෙනවා. උඩින් සිට අපිව හසුරුවනවා. අපි උපයා ගත් ආදායම් ඉලක්කවලටම අද අපට ඉලක්ක ලබා දී තිබෙනවා. මේ වසරේ ජාතික නිෂ්පාදිත ආදායම ප්‍රතිශතයක් ලෙස 15.1% දක්වා වර්ධනය කර ගත යුතුයි. එයින් 2.3%ක් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස පවත්වා ගත යුතුයි. අපට වියදම් සීමා පිළිබඳව, ආදායම් ඉලක්ක පිළිබඳව අපට බාහිර පාර්ශ්වයන්ගේ එකඟතාවලට අනුව ආර්ථිකය හසුරුවන්න සිදුව තිබෙනවා. ඇයි? අපි නරක ළමයෙක්. දැන් අප දඩුවමට ලක් කරලා, පරිවාස භාරයේ ඉන්නේ. අපේ ආර්ථිකය, පරිවාස භාරයේ ඉන්නේ. අපි හැමදාම පරිවාස භාරයේ ඉන්න ආර්ථිකයක් බවට පත් විය යුතුද? නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා සමඟ කළ සාකච්ඡාවකදී අදහසකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයකට ඇතුළු වන අවසන් අවස්ථාව බවට මෙය පත් කරගත යුතු බවට වූ ස්ථාවරයකට ආවා. අපි අපේම නිර්ණායක, ඉලක්ක සකස් කර ගත යුතු ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට විය යුතුයි. එහෙත් අප කොයි මොහොතක හෝ අපේ ආර්ථිකය පොදු ජනයාගේ වුවමනාවන්, සමාජ අපේක්ෂා සමඟ ආර්ථික ඉලක්ක සකස් කරගත යුතුයි. එහෙත් අපි යම් ප්‍රමාණයකට, පරිවාසයකට යටත් වී සිටින ආර්ථිකයක් මෙහෙයවමින් තිබෙනවා. එනිසා අපේ උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට යන අවසන් අවස්ථාව බවට මෙය පත් කර ගත යුතුයි කියන දැඩි අධිෂ්ඨානයක අප සිටිනවා.
ඒ, අධිෂ්ඨානයට යෑමට නම් අපේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත යුතුයි. ඒ රාජ්‍ය ආදායමේදී විශාල පංගුවක් බදු මත වැටී තිබෙනවා. ඒ බදු එක්රැස් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒ නිසා බදු ගෙවන්නන්, බදු අය කර ගැනීමේ යාන්ත්‍රණය, ඒ බදු මුදල් පරිපාලනය කරන්නන් හැටියට අපි එකට මේ ව්‍යායාමය සාර්ථක කර ගමු. පරිවාස භාරයේ තිබෙන ආර්ථිකය අපේ ස්වාධිපත්‍යය සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට වෙහෙස වෙමු.”





