පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව භාවිතය සඳහා සහනදායී ක්‍රමවේදයකට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම යතුරුපැදි සඳහා වූ රජයේ බද්ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් දරන බවත්, පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් වාරික වශයෙන් යම් සාධාරණ මුදලක් කැපී යන අයුරින් එම යතුරුපැදි පොලිස් නිලධාරීන්ට ලබා දීමට තීරණය වූ බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.
එමෙන්ම පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වය නිසාවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට අමාත්‍යාංශය වෙත වාර්තා වූ කරුණු සැළකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ට මසකට අවම වශයෙන් දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.













