පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි පුද්ගලයෙක් ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු විසින් මෙලෙස රවටාගෙන කැඳවාගෙනවිත් තිබුණේ ලිඳුල, ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්.
සිසුවිය මුහුණු පොත ඔස්සේ සැකකාර තරුණයා හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබෙනවා.
පසුව සැකකරු විසින් එම සිසුවියට පසුගිය (15) වනදා නානුඔය දුම්රිය ස්ථානයට මුණගැසීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ සැකකරු විසින් ඇයව දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිසුවියගේ රැකියාවක් සඳහා විදේශගතව සිටින අතර, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ ලිදුල පොලිසිය සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර ඇය හපුතලේ ප්‍රදේශයේ රැඳී සිටින බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
ඒ අනුව හපුතලේ ප්‍රදේශයට ගිය ලිඳුල පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (17) රාත්‍රියේ සැකකරු සමඟ සිටි සිසුවිය සොයාගෙන තිබෙනවා.
අනතුරුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













