හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන අයට හා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝසප් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 22 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා අද (28) නියෝග කළා.
සිය සේවාදායකයන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති හෙයින් එහි තීන්දු ඉදිරියේදී ලැබීමට නියමිත අතර ඒ අනුව මෙම නඩුව නැවත කැඳවීමට දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසට විත්තිකාර රවී කරුණානායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 22 වන දින කැඳවීමට නියෝග කළා.
2016 පෙබරවාරි මස 12 වන දින හා 2016 සැප්තැම්බර් මස 30 අතර කාලය තුළදී විත්තිකාර රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියටට් සමාගමේ හා පී. ටී. එල්. සමාගමේ මුදලින් රුපියල් මිලියන 11. 68 වැය කර කුලී පදනම් මත ලබාගත් කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවසක පදිංචියට පැමිණීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.



