දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව එළඹෙන 11 වනදා සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි සඳහන් කළේ.
එමෙන්ම චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා කාලයක් තබා ගත හැකි බවත් ඒ අනුව ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ හස්තියාද එම කාලය දක්වා තබා ගත හැකි අයුරින් සකසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මනෝරි ගුණතිලක පැවසුවේ.
ප්‍රතිනිර්මාණය කළ මෙම නැඳුන්ගමුවේ රාජා සඳහා ලක්ෂ 70කට ආසන්න මුදලක් වියදම් වූ බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මෙම මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
ඉන් වැඩිම මුදලක් වියදම් වූයේ සංරක්ෂණය කළ ඇතා තබා ගැනීම සඳහා සැකසූ විශේෂිත වීදුරු කුටීරයට බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
ඒ, අනුව එම කුටීරය සැකසීම සඳහා මිලියන 16කට ආසන්න මුදලක් වියදම් වූ බව ඇය අදහස් දක්වමින් සඳහන් කළා.













