පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳ ව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද (03) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නිතීඥභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
රහස් පොලිසිය මගින් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණදීමේ දී වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳ ව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවත් වැඩිදුරටත් පැවසුවා.