විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවත් එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට රජය සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිවරයා නවීන ලෝකයත් සමඟ ඉදිරියට යාමට අසමත් වීම හේතුවෙන් ජාතියක් ලෙස අපට මඟහැරී ගිය ආර්ථික අවස්ථා රටට කැඳවාගෙන ඒම වත්මන් රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළා.
ඒ වෙනුවෙන් රජය පුළුල් සැලැස්මක් සකස් කර තිබෙන බවත්, ඩිජිටල්කරණය එහි ප්‍රධාන අංගයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘත්‍රීම බුද්ධිය, දත්ත මධ්‍යස්ථාන වැනි ආර්ථික අවස්ථා පිළිබඳ එහිදී අවධානය යොමු කර තිබෙන බවද සඳහන් කළේය. එමෙන්ම, ඩිජිටල්කරණය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් බිලියන 6.5කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත්, මේ වසර අවසානයට පෙර කෙසේ හෝ ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින්.
‘පරපුරෙන් පරපුරට ශක්තිමත් හෙටක් හදන අදක්’ තේමාව යටතේ මෙවර වාර්ෂික මහා සභා රුස්වීම පැවැත්විණි.
ඕනෑම ආර්ථිකයක් ඉදිරියට යන්නේ ඒ කෙරෙහි ඇති විශ්වාසය මත බවත්, ව්‍යාපාරිකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන අය සහ සමාන්‍ය ජනතාව තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් තිබිය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම විමට අවිශ්වාසය විසින් ආර්ථිකයන් බිඳ වට්ටනු ලබන බවද සඳහන් කළා.
අද රටක් ලෙස අපිට අවශ්‍ය නොසෙල්වෙන මෙන්ම බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් බවත්, අද ගොඩනඟමින් සිටින්නේ එවන් ආර්ථිකයක් බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.
අභ්‍යන්තර කම්පන ජය ගත්තද, මේ මොහොතේ මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බාහිර කම්පනයක් එල්ල වී ඇති බවත්, මාර්තු මස මුල සිට මේ වන විට බොරතෙල් බැරලයක මිල 42% කින් පමණ ඉහළ යාමත් සමඟ ලෝක වෙළඳපොළේ දැඩි අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති බවත්, මෙරට පාරිභෝගික හැසිරීම් වලද අවිනිශ්චිතතාවයක් දක්නට ලැබෙන අතර, මාර්තු 1 වනදා කිලෝලීටර 4500 ක් වූ ඩීසල් අලෙවිය මාර්තු 3 වනදා වන විට කිලෝලීටර 10,500 දක්වා ඉහළ යාම ඊට උදාහරණයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
2022 වසරේ ඇතිවූයේ ඩොලර් හිඟය නිසා ඇති වූ අර්බුදයක් වුවත්, මෙවර පවතින්නේ සැපයුම් මාර්ග අවහිර වීම නිසා ඇති වූ සැපයුම් අර්බුදයක් බවත් පෙන්වා දෙමින්, තනි තනිව නොව සියලුදෙනා සාමුහිකව සිටිමින් ඊට මුහුණදී අභියෝගය ජයගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් රජය ‘ආර්ථික ආවේක්ෂණ කමිටුවක්’ පිහිටුවා ඇති අතර සැපයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් මිත්‍ර රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායක නායකත්වය නියෝජනය කරන තරුණ ලාංකිකයන්ගේ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය මෙරට ආර්ථිකයේ සුවිශේෂී පංගුකරුවෙක් ලෙස ඉටු කරන මෙහෙවරද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර එහි නව සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් වෙත සිය සුබපැතුම් එක් කළා.
ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නව සභාපති සුරේන් චන්ද්‍රරත්න මහතා සහ හිටපු සභාපති මංජුල විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් ද සිල්වා ද මෙහිදී අදහස් දැක්වූවා.
නව සභාපති සුරේන් චන්ද්‍රරත්න මහතා මෙහිදී සඳහන් කළේ නව ව්‍යවසායකයන්ට අලුත් හෙටක් නිර්මාණය කර දීම තම අපේක්ෂාව බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
”මෙම COYLE සංසදය සහ පෞද්ගලිකව මා අතර දිගුකාලීන සබඳතාවක් තිබෙනවා. ඔබ අපගේ ප්‍රතිපත්ති පිළිබද සහ අප අනුගමනය කරන උපායමාර්ග පිළිබද එදා මා වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. අපි බලය ලබා ගෙන දැන් වසරකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. ඔබට එදා තිබු ප්‍රශ්න තවත් තිබෙනවද, අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබද යම් සැකයක් පැවතියා නම් මම හිතන්නේ අද එම සැකය අවසන් වී තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ඇති වී තිබෙන අර්බුදයන්ට සාර්ථකව මුහුණ දී අපේ මාතෘභූමිය ජයග්‍රාහී රාජ්‍යයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් අපි ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද යන්න තමයි දැන් ඔබට තිබෙන සංවාදය කියා මම විශ්වාස කරනවා.
අපි කවුරුත් දන්නවා අපේ රට මීට වසර කිහිපයකට පෙර ඉතා විශාල බිඳ වැටීමකට ලක් වුණා. ආර්ථික බිඳ වැටීමකින් පසු කිසිදු දෙයක් ඉතිරි වන්නේ නැහැ. සියල්ල ඇණ හිටිනවා. ඒ නිසා ආර්ථිකයක් බිඳ වැටීම සමාජ දේහයට මොනතරම් විනාශයක් ගෙන එනවාද යන්න පිළිබදව අපි කාටත් ඉතා අමිහිරි අත්දැකීමක් මෑත කාලයේ තිබෙනවා. එසේ නම් රජයක් ලෙස අපිට පැවරුණු පළමු වගකීම වූයේ ආර්ථිකය පිළිබඳ යළි විශ්වසය කැටුව ඒමයි. ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමට නම් ඒ ආර්ථික චලනය පිළිබද ඔබ විශ්වාස කළ යුතුයි. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගිය යුතුයි.
අපි බලය ලබා ගන්නා විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වී තිබුණා. එම විස්තීරණ ණය වැඩසටහන තුළ අපිට ඉලක්ක සහ යම් පරාමිතීන් හඳුන්වා දී තිබුණා. ඒ පරාමිතින් පසෙක තැබුවත් ආර්ථිකයක් පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි සාධක කිහිපයක් තිබෙනවා. මා හිතනවා ඒ සාධක කිහිපයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීමේ පරාමිතීන් සහ අපි අපේක්ෂා කරන ලද පරාමිතීන් සියල්ල අභිබවා ඉතා සාර්ථක පරාමිතීන් ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තිබෙනවා.
ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කිරීම, ජංගම ගිණුමේ ශේෂය ධන අතිරික්තයකට ගෙන ඒම, දශක ගණනාවකට පසු 2025 වසරේදී 17.2%ක ආදායමක් වාර්තා කිරීම සහ ලංකාවේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වසර බවට 2025 වසර පත් කර ගැනීම එම සුවිශේෂ ජයග්‍රහණ වෙනවා. ඒ නිසා දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි. හැබැයි අපිට අවශ්‍ය නොසෙල්වෙන ආර්ථිකයක්. ඒ වගේම බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි ඇති කළ යුතුයි. බාහිර සහ අභ්‍යන්තර කම්පන හමුවේ ආර්ථිකය කඩා වැටෙනවා නම් ආර්ථිකයක් ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අද අපි ගොඩනඟමින් සිටින්නේ එවැනි අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක්.
හැබැයි මේ මොහොතේ අපිට බාහිර කම්පනයක් එල්ල වී තිබෙනවා. මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය භාණ්ඩ හා සේවා සැපයුම්වලට බාධා එල්ල කරමින් තිබෙනවා. ලෝකය වෙළෙඳපොළින් ගැට ගැසී තිබෙනවා. එලෙස විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ගැට ගැසුණු ලෝකය තුළ ඇතිවන ඕනෑම කම්පනයක් අපිට බලපෑමක් ඇති කරනවා. එසේ නම් අපි එම බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක වැදගත්.
සාමාන්‍යයෙන් මාර්තු මාසයේ ආරම්භයේදී බොරතෙල් බැලර් එකක් ඩොලර් 70ක වගේ මිලකට තිබුණා. දැන් ඩොලර් 100ට ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්විට එය 42%ක වර්ධනයක්. බොර තෙල් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වෙමින් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සියලු දෙනාම මේ අවිනිශ්චිත තත්ත්වයේ පැටලුණු පංගුකරුවන් වී තිබෙනවා. ඒ වගේම සමාජ හැසිරීමත් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මම පුරවැසියන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. තෙල්, ගෑස් අහිමි වීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ගිණි පෙල්ළෙන් බැට කෑ කෙනා කණාමැදිරි එළියටත් බයයි කියලා කියමනක් තිබෙනවා. ඒ නිසා ජනතාව ඉන්ධන පෝළිම්වල සිටිනවා. ඉන්ධන එක් රැස් කරන්න පටන් ගන්නවා. මාර්තු මාසයේ පළමුවෙනිදා අපේ ඩීසල් අළෙවිය කිලෝලීටර් 4500ක්. මාර්තු මාසයේ 03 වෙනිදා අපේ ඩීසල් අලෙවිය කිලෝලීටර් 10500යි.
පෙට්‍රල් අලෙවිය කිලෝලීටර් 4000ක වගේ සිට 9000 දක්වා ඉහළ ගියා. දැන් නැවත 6000ට අඩු වී තිබෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිවෙකුට තනි තිනව මෙයින් සුරක්ෂිත විය නොහැකියි. තනි තනිව අපි හැම කෙනාම මේ වෙනුවෙන් යමක් දරා ගනිමින් ඊට මුහුණ දිය හැකි නම් අපි සියලු දෙනාට මෙයින් ගොඩ ඒමට හැකියි.
මේ බාහිර කම්පනය අපිට යම් බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා තමයි අපිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වුණේ. අපේ ඉන්ධන වෙළෙඳපොළෙන් 47%ක් භාහිර ආයතන අතේ තිබෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. ඒ වගේම ඉන්ධන සාමාන්‍ය පරිභෝජන තලයට ගෙන ආ යුතුයි. මා යෝජනා කරන්නේ අපි සියලුදෙනා එකතු වී එය තවත් ටිකක් පහළට ගෙන ආ යුතුයි.
2022 අර්බුදය මතු වුණේ මොකක් නිසාද, ලෝකයේ සැපයුම් මාර්ග අඩාල වී නොවයි, ඉන්ධන සංචිතවලට පහර දී නොවයි. අපිට ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් හිඟ වීම නිසයි. හැබැයි දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. බිලියන 7.2ක විදෙස් සංචිත අපිට තිබෙනවා. ඒ නිසා අද අර්බුදයක් ආවොත් එය සිදු වන්නේ සැපයුම් මාර්ගවල අර්බුදයක් නිසා. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග සියල්ල පිළිබඳ මිතුරු රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ වගකීම තමයි අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීම. එය බිඳ වැටීම අපි මේ ආර්ථිකයේ අත්පත් කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් කෙටි කාලයකට නතර වීමට හේතු වෙනවා. ඒ නිසා රජයක් ලෙස අපේ පූර්ණ සැලැස්ම වන්නේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීමයි.
අපිට අඛණ්ඩ බලශක්ති සැපයුමක් දැන් සහතික කළ හැකියි. හැබැයි අපි සියලු දෙනාටම එය පුරෝකථනය කළ හැක්කේ උපරිම මාස දෙකක් සඳහා පමණයි. මාස 02කට වඩා මේ යුද්ධය පැවතියහොත් අපේ පුරෝකථනවලින් තේරුමක් නැහැ.
මේ යුගය තාක්ෂණය සහ විද්‍යාව විසින් යුද්ධයට මහා බලයක් නිර්මාණය කර දී තිබෙන යුගයක්. ඒ නිසා මෙම ප්‍රබල අවි මහෙයුම් විසින් කවර තත්ත්වයක් නිර්මාණය කරනු ඇත්දැයි අපිට පුරෝකථනය කරන්න බැහැ. අපිට කෙටි කාලයක් පුරෝකථනය කළ හැකියි. එහෙත් එම කාලය අභිබවා යුද්ධය ඉදිරියට පැවතියහොත් කිසිදු ජගතෙකුට එය පුරෝකථනය කරන්න බැහැ. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම් ලබා දෙන බවට. හැබැයි මිල උච්ඡාවචනය විය හැකියි. මම තෙල් ළිඳක අයිතිකරුවෙක් හෝ තෙල් සමාගමක නියෝජිතයෙක් නිසා මට ලාභ ගන්න මේවා කරනවා නෙවෙයි. හැබැයි ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තිබෙනවා අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දෙන්න.
ඒ සඳහා අවශ්‍ය මූලෝපාය සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තර කම්පනයට මුහුණ දීමට අපිට හැකි වූණා. එහෙත් බාහිර කම්පනයට මුහුණ දෙන්න අපිට තව ටික කාලයක් යයි. අපි මේ ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටි අවස්ථාවක්. ඒ නිසා අපිට කම්පනයක් ඇති කර තිබෙනවා. හැබැයි අපි ඉතා හොඳින් එම කම්පනය කළමනාකරණය කරමින් එය සමනය කර ගැනීමට උත්සාහ දරමින් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්ව මෙම කම්පනයට මුහුණ දෙමු. මේ අපි සියලුදෙනා තමන් ගැන වගේම පොදුවේ සියලුදෙනා ගැන සිතමින් තීන්දු තීරණ සහ භාවිතාවන්වලට එළැබිය යුතු වෙලාවක් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍ය වෙයි. ලෝකයේ අර්බුදයට ලක් වූ රාජ්‍යයන් ගොඩගියේ සුපුරුදු පරිදි සිය පරිභෝජන රටා අනුවම නෙවෙයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක අපි සියලුදෙනා යම් සංයමයකට ආ යුතුව තිබෙනවා. ඒ නිසා යම් සංයමයක් සහ පරිස්සම්කාරී ආර්ථික ක්‍රියාකාරකමකට එක් වෙමුයි කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. එය අපි සියලුදෙනා එක්ව මේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාවතයි.
ඒ වගේම අපි දිගු සැලැස්මක් සකස් කර තිබුණා. ඩිජිටල්කරණය එහි ප්‍රධාන කොටසක් වෙනවා. අපි විශාල අවස්ථාවන් අහිමි කරගත් ජාතියක්. ලෝකය සෑම විටම විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් නව ආර්ථිකයක් නිර්මාණය කරනවා. පසුගිය සියවස ගත්විට ලෝකයේ විද්‍යාවේ හා තාක්ෂණයේ විවිධ ක්ෂේත්‍රවල අලුත් පිමි අපි දකිනවා. නමුත් ඊට සමාන්තර ලෙස අපේ තාක්ෂණය සහ විද්‍යාව පෙළ ගස්වා ගැනීමට අපි අසමත් වුණා. ඒ නිසා ලෝකය සමඟ ඉදිරියට යාමට අපි සමත් වුණේ නැහැ. ඩිජිටල්කරණය, කෘත්‍රීම බුද්ධිය, දත්ත මධ්‍යස්ථාන මේ යුගයේ නව තාක්ෂණය ආර්ථික අවස්ථා බවට පත්ව තිබෙනවා. ඒ නිසා මේ යුගයේ නව තාක්ෂණයේ ආර්ථික අවස්ථාවලින් අපි ප්‍රයෝජනගත යුතුයි. අපි රජයක් ලෙස උපරිම උත්සාහ ගනිමින් තිබෙන්නේ විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය අපේ රටේ ගොඩනැගීමටයි.
ඒ වගේම ඩිජිටල්කරණයේ මහා පිම්මක් ගත යුතුයි. ඒ සඳහා අපි විශාල වෙහෙසක් දරමින් කටයුතු කරමින් සිටිනවා. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 6.5කට ආසන්න මුදලක් අපි ඩිජිටල්කරණය සඳහා වැය කර තිබෙනවා. මේ වසර අවසානයට පෙර කෙසේ හෝ ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති වී තිබෙන පසුගාමීත්වය සහ අකාර්යක්ෂමතාව සියල්ල අවම කරගත හැකි වනු ඇතියි.
ඒ වගේම සමස්ත රාජ්‍ය දේහයම පරිවර්තනයකට ලක් කිරීම වෙනුවෙන් අපි මේ වන විට වැඩ කරමින් සිටිනවා. මෙම කටයුතු අතර රටේ ආර්ථිකයේ විශාල පංගුවක් තිබෙන්නේ ඔබ අතයි. ඔබ ඔබගේ ව්‍යාපාරය දෙගුණයකින්, තෙගුණයකින් වර්ධනය කරන්න. ඒ සඳහා අපෙන් කෙරෙන්න ඕන මොනවද කියලා කියන්න. රජයක් ලෙස අපේ කාර්යභාරය ඔබට අවශ්‍ය ඒ සේවාවන් සැපයීමයි. ඔබ සෑම කෙනෙක්ම දැන් තිබෙන මේ ව්‍යාපාරය වසර දෙකක්, තුනක් ඇතුළත 100%කින් වර්ධනය කරමින් ඔබේ ව්‍යාපාරය රටේ ආර්ථිකයේ පංගුකරුවෙක් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” යැයි ඉල්ලා සිටියා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.













