ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක ලේකම් පළමු වරට නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක (ඡායාරූප)

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරය අද (06) දින සිදු කළා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; නාවික හමුදා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා බටහිර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් පිළිගනු ලැබූ බවයි.

අනතුරුව ඔහු වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූල ව ගෞරව සම්මාන මුරයක් ද පිරිනමනු ලැබුවා.

ආරක්‍ෂක ලේකම්වරයා සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගැනීමෙන් පසු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ව හඳුන්වාදීම සිදු කෙරුණා.

නාවික හමුදාධිපතිවරයාගේ කාර්යාලයේ පැවති නිල හමුවේ දී ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාධිපතිවරයා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත වූ අතර, ඉන් අනතුරුව නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද නාවික හමුදාවේ ව්‍යුහය, කාර්යභාරය සහ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට ද ආරක්ෂක ලේකම්වරයා එක් වූ බවයි වාර්තා වන්නේ.

භට පිරිස් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, අප රටේ පැවති තිස්වසරක කුරිරු යුද්ධය නිම කිරීමට නාවික හමුදාව දැක්වූ දායකත්වය සිහිපත් කළ අතර, සාගරික සම්පත් ආරක්‍ෂා කරමින් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නොගැඹුරු මෙන්ම ගැඹුරු මුහුදේ ද අභියෝගයන්ට මුහුණ දෙමින් තම කාර්යය නිසි ආකාරව ඉටුකිරීම වෙනුවෙනුත්, අප රට වටා ඇති මහ මුහුද හරහා සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් පාලනය කිරීමට ගන්නා උත්සාහය හා දායකත්වය පිළිබඳවත් අගය කිරීමක් සිදු කළා.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

WhatsApp Image 2024 11 06 at 18.44.51 1
WhatsApp Image 2024 11 06 at 18.44.56 1 1