‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්තිගේ ප්රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ රැස්වුණා.
2026 ඔක්තෝබර් මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂඥ කමිටුව පත් කරනු ලැබුවා.
මෙහිදී ඇතාගේ මරණයට හේතුව සහ ඇතාට සිදුවූ හානියේ ස්වභාවය මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
අනාගතයේදී මෙවැනි තත්ත්වයන් හමුවේ කඩිනමින් ගත යුතු ක්රියාමාර්ග නිශ්චය කිරීම සඳහා විද්යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ක්ෂේත්රයේදීම කඩිනම් ප්රතිචාර දැක්වීම සඳහා පශු වෛද්ය ඒකකයක් (Rapid Response Veterinary Unit) ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
මීට අමතරව, මේ සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද මෙහිදී තීරණය වුණා.
විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන්, විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ, කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න මෙම අවස්ථාවට එක්ව සිටියහ.










