දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හෙවත් දේශීය ණය ප්‍රශස්තිකරණයට අදාළ යෝජනාවලිය ආණ්ඩුව හෙට (ජුලි 01 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.
ඒ වෙනුවෙන් අද (ජුනි 30 වැනිදා) විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරමින් දින 5ක කාල පරිච්ඡේදයක් මෙරට බැංකු සහ මූල්‍ය වෙළෙඳපොල වසා දැමීමට ද ආණ්ඩුව කල් වේලා ඇතුවම කටයුතු කළා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ සිදු කරන පසුබිමක මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු පාර්ශ්ව එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.
එහිදී අදහස් දක්වමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසීය.
“රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් වුණා. නමුත් එය 2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි. තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4 % ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි.
මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.
පළමුවැන්න නිල ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීම. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ රජයේ දළ මුල්‍ය අවශ්‍යතාවය (Gross Financial need) සඳහා ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එය 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 90%ටත් පහළට එනවා.
මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමටත්, EPF වෙනුවෙන් ලබාදිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි. දැනටමත් බැංකු ලබන ආදායමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවමින් රජයට දායකත්වය ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත් (superannuation fund) මගින් බදු ලෙස අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්.
බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.
ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.
ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම.
මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකරන්නේ නම්, ඊට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවයි. එසේම ආණ්ඩුව විසින් මෙම කටයුත්ත සිදුකරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ඉදිරියට දමාගනිමින් වුවද, IMF විසින් එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළ යුතු බවට රජයට නිර්දේශ කර නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වාදී තිබෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගැටලුව එසේ පවතිද්දී, IMF විසින් නිර්දේශ කර ඇති විදේශීය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියද මෙතෙක් අවසන් කරගැනීමට රජය අපොහොසත්වී සිටිනවා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ, සුපුරුදු පරිදි චීනය අනුගමනය කරන ස්ථාවරයයි. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය සාධාරණ පදනමකින් ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති නමුත්, මාස ගණනකට පසුවත් චීනය තවමත් සිය ස්ථාවරය ප්‍රකාශය පත්කර නැහැ. IMF විසින් සිය පළමු ණය වාරිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදීය. ඉන් අනතුරුව IMF අවධාරණය කරන ලද්දේ සිය දෙවන වාරිකය නිකුත් කිරීමට පෙර ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම සඳහා එකඟතා සැලැස්මක් ලබාගන්නා ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තම පාර්ශ්වයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දියාව ප්‍රමුඛ අනෙක් පාර්ශ්වයන් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදෙන ආකාරය පිලිබඳ දල සැලැස්මක් ඉදිරිපත් කළා. එහිදී වඩා ප්‍රගතිශීලි වූ පැරිස් සමාජයේ සාමාජික රටවල් පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වසර 10ක් ගතවන තුරු අයකර ගැනීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඉන් අනතුරුව ණය ආපසු ගෙවීම සඳහා තවත් වසර 15ක පමණ දීර්ඝ සහන කාලයක් ලබාදිය යුතු බවටද පැරිස් සමාජය යෝජනා කර තිබෙනවා. එම මුළික එකඟතාවට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා ආරම්භ කර පොදු වැඩසටහනක් සකස්කර ගැනීමට ඉන්දියාව සහ ජපානයද කැමැත්ත පළකර තිබෙනවා.
එහෙත් ආරම්භයේදී මෙන්ම වර්තමානයේදීද චීනය ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන්ගේ පොදු එකඟතා සම්බන්ධයෙන් පසුවන්නේ නෑසු කන්ව ය. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය එක්ව සංවිධාන කළ ණය හිමියන්ගේ සාකච්ඡාවට පවා ක්‍රියාකාරීව සහභාගී වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින චීනය හුදු නිරීක්ෂකයෙක් ලෙස පමණක් එම සාකච්ඡාවට එක් වුණා.
චීනය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 07කට වැඩි දැවැන්ත ණය වෙනුවෙන් සහනයක් ලබාදීම මගහැර යන්නට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇති බව පෙනෙන්නට තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, චීනය විසින් විශාල ලෙස ණය ලබාදී ඇති ලොව තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක්, ණය උගුල්වල පැටලී ආර්ථික අර්බුදවලට මුහුණදී සිටීමයි.
යම්හෙයකින් චීනය විසින් ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් අනෙකුත් ණය හිමියන්ට සමානව සහනයක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහොත්, චීන ණය ලබාගෙන අර්බුදයන්ට මුහුණදී සිටින අනෙකුත් රටවල් තමන්ටද එම සහනය ඉල්ලා සිටීම වැලැක්විය නොහැකිවන අතර, චීනයට අනිවාර්යයෙන් එම ඉල්ලීම් ඉටුකිරීමට සිදුවනු ඇති. චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්ස ගැසූ පළමු හේතුව වන්නේ එයයි. දෙවැනි හේතුව වන්නේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට චීනය එකඟතාව පළකළහොත්, තම ණය හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක පැටලුණු බව වක්‍රාකාරයෙන් පිළිගැනීමට චීනයට සිදුවීමයි. එවැනි පිළිගැනීමක් යනු, වසර ගණනාවක් තිස්සේ බටහිර ජාතීන් විසින් චීනයට එල්ල කරන ‘ණය උගුල්’ චෝදනාව පිළිගැනීමක්. එය චීනයේ අන්තර්ජාතික ප්‍රතිරූපය තවදුරටත් පහතට ඇද දැමීමක් වනවා.
එසේම ශ්‍රී ලංකාව මුහුණදී සිටින මෙම දුෂ්කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද චීනය උත්සුක වෙමින් සිටින බව, චීනයේ මෑත කාලින හැසිරීම නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකියි. විශේෂයෙන් ණය ආපසු ගෙවීම අපහසු නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවට, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම තමන්ට පවරාදෙන ලෙස චීනය මෙරට රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. විශේෂයෙන් රටේ බලශක්ති මර්මස්ථානයක් වන නොරොච්චෝලේ බලාගාරය පවරා ගැනීම සම්බන්ධයෙන්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවන් අවසන් කිරීමට පෙර එකඟතාවකට පැමිණීමට පෙර චීනය උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් සිරකරමින්, උද්ගතවන අසීරුතා මධ්‍යයේ සිය කලාපීය භූ-දේශපාලනික අවශ්‍යතා ශ්‍රී ලංකාව හරහා ඉටුකර ගැනීමට පමණක් චීනය උත්සුක වන බව පෙනෙන්නට තිබෙනවා.