දත්ත හා තොරතුරු මත තීරණ ගන්නා ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතුයි – අගමැතිනිය කියයි

සියලු දරුවන්ට සාධාරණය උදාවෙන අධ්‍යාපන පද්ධතියක් සැදීමට නම්, පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට දත්ත හා තොරතුරු මත තීන්දු තීරණ ගන්නා ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

2026.07.16 දින කොළඹදී පැවති 2026-2033 යන වර්ෂයන්ට අදාළව සාමාන්‍ය අධ්‍යාපන අංශීය පරිවර්තනීය රාමුව (General Education Sector Transformation Framework) සැකසීම උදෙසා පැවති වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වඩාත් සාධාරණ, උසස් තත්ත්වයෙන් යුතු සහ අන්තර්කරණීය වූ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමෝපායික මාර්ග සිතියමක් ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම සාමාන්‍ය අධ්‍යාපන අංශීය පරිවර්තනීය රාමුව හඳුන්වා දී තිබෙනවා.

ඒ හරහා සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඇගයීම හා අධීක්ෂණය කිරීම ඇතුළු අධ්‍යාපනයේ සමානාත්මතාවය හා ගුණාත්මකභාවය නංවාලීම, පාලනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම, අධ්‍යාපන පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, තිරසාර අධ්‍යාපන සැලසුම්කරණය හා මූල්‍යකරණය ශක්තිමත් කිරීම වැනි තේමාවන්ට අදාළ කටයුතු සාක්ෂාත් කර ගැනීම සඳහා සැලසුම් සම්පාදනය සිදුකරනු ලබනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා විමසමින් සාමාන්‍ය අධ්‍යාපන ආංශීය පරිවර්තන රාමුව තුළ දක්වා ඇති ක්‍රමෝපායන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සමඟ පෙළගැසී ඇති බවට තහවුරු කිරීමත්, එම කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා තවදුරටත් එම සැලැස්ම තුළට අන්තර්ගත කළ යුතු දෑ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමත් මෙම වැඩමුළුව හරහා සිදු කෙරෙනවා.

මෙහිදී පැමිණ සිටි අධ්‍යාපන බලධාරීන් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ පවසා සිටියා.

”අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කළ මෙම සාමාන්‍ය අධ්‍යාපන ආංශීය පරිවර්තනීය රාමුව අපගේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වූ ප්‍රධාන උපායමාර්ගික රාමුව විය යුතුයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ කලක් තිස්සේ තිබුණු අඩුපාඩුවක් තමයි මේ හරහා සම්පූර්ණ වෙන්නෙ. ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් වලින් තොරව අපට සාර්ථක ඉදිරි ගමනක් අපේක්ෂා කළ නොහැකියි. ඒ නිසා මෙම උපායමාර්ගික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප පළාත් මට්ටමින් සාකච්ඡා කර, සමාලෝචන ක්‍රියාවලියකට ලක් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ ඇති ස්ථාවරභාවය සහ විද්‍යාත්මක පදනම ආරක්ෂා කරගනිමින්, තොරතුරු හා දත්ත මත පදනම් වූ ස්ථාවර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ වගකීම රජයට මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටිනා නිලධාරීන්ටද පැවරෙන වගකීමක්. මෙම සාමාන්‍ය අධ්‍යාපන ආංශීය පරිවර්තනීය රාමුව ඔස්සේ පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට, දත්ත හා ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන තීන්දු තීරණ ගැනීමට අපට අවස්ථාව උදාවෙලා තියෙනවා.

අපේ දරුවන්, අප සියලුදෙනාගෙම වගකීම විය යුතුයි. එමෙන්ම දරුවන් අතරමං වන අයුරින් අධ්‍යාපන පද්ධතියේ විවිධ අංශ අතර බෙදීමක් ඇති නොවිය යුතුයි. අප වෙන් වෙන් වශයෙන් කටයුතු කරමින් එකිනෙකට බද්ධ වූ පද්ධතියක තීන්දු තීරණ ගන්න බැහැ. එහිදී එකිනෙකාගෙ කාර්යයන් කුමක්ද යන්න වටහා ගැනීම සහ කවුරු වෙනුවෙන්ද මේ පද්ධතිය පවත්වාගත යුත්තේ කියා හඳුනාගැනීම අතිශය වැදගත්.

අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය කුමක්ද යන්න අප මුලින්ම වටහාගත යුතුයි. පාසල තුළ ගතකරන අවුරුදු 13 කාලය සහ උපාධියක් හැදෑරීමට ගතවන අවුරුදු තුනක, හතරක පමණ කාලය බොහොම වැඩියි කියලා අදහසක් දැන් සමාජගත වෙලා තියෙනවා. කෙටිකාලයකින් ඉගෙනගන්න පුළුවන් කියන ඒ වැරදි සමාජ මත සම්බන්ධව දෙමාපියන් දැනුවත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්විය යුතුයි.

රටක් හැටියට, රජයක් හැටියට අපිට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා අපේ ජාතික සංවර්ධන සැලැස්මට අවශ්‍ය කරන දේශපාලනික සවිඥානයක් තියෙන, ආර්ථික වශයෙන් ඵලදායි, සදාචාරාත්මක පුරවැසියා බිහිකරන්න. සහතිකපත්‍රයකට සහ රැකියා අරමුණකට පමණක් සීමා වූ අධ්‍යාපන ක්‍රමයකින් අපට ඒ පුරවැසියා බිහිකළ නොහැකියි.

ඒ වගේම සමාජීය හා ආර්ථික වශයෙන් විවිධ අර්බුදකාරී ගැටලු වලට මුහුණදෙන දරුවන්ව අපගේ අධ්‍යාපන පද්ධතිය තුළ රඳාපවත්වාගෙන, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාව සම්බන්ධවද අප සිතීමට අවශ්‍යයි. දැනුම ලබාදීමකට එහාගිය දරුවන්ගෙ මනෝ සමාජීය යහපැවැත්ම සහ පවතින අනෙකුත් ප්‍රශ්න වලටත් ආමන්ත්‍රණය කිරීමට හැකි ආරක්ෂිත දෙයක් බවට අධ්‍යාපනය පත් කිරීම සම්බන්ධවද අප සිතිය යුතුයි.

එමෙන්ම අධ්‍යාපන පාලන තන්ත්‍රය පිළිබඳවද අප වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා. මෙම සැලැසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගත හැකිවන පරිදි අඛණ්ඩ සංවර්ධන පුහුණු (Continuous development training) පිළිබඳ සහ පද්ධතිය තුළ පවතින සියලුම සේවාවන්ගෙ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සම්බන්ධවත් අප සැලසුම් සකස් කළ යුතු වෙනවා.”

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32