Empty Ad
Empty Ad
AFC Banner

ඩුබායි ඉඳන් ලංකාවේ අණසක පතුරවන කුඩු කප්පිත්තන්ගේ පැටිකිරිය මෙන්න

මවක් සහ පුතෙක් පමණක් ජීවත්වූ එම නිවෙසේ සිදුවන මෙම මත්කුඩු ජාවාරම ගැන ඉව අල්ලා ඇඹිලිපිටිය පොලීසියට අල්ලා දෙන්නේද පොලීසියේම බුද්ධි අංශයක් වූ විශේෂ කාර්යාංශයේ කොස්තාපල්වරයකු ලද තොරතුරකට අනුවය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කෙරුණු මෙම වැටලීමේදී නි‍ෙවසේ සඟවා තිබුණු මත්කුඩු සොයා ගන්නේ කිලෝ 38කට වැඩි ප්‍රමාණයකි. ඒ වන විට ඇඹිලිපිටිය තබා ඒ අවට කිසිදු පැත්තකින් මෙතරම් මත්කුඩු තොගයක් අල්ලාගෙන තිබුණේ නැත. ජාවාරම්කරුවන් මෙවන් ස්ථානයක් මත්කුඩු සඟවාගෙන රටපුරා බෙදා හැරීමට යොදා ගෙන ඇත්තේ එබැවිනි.

මෙම මත්කුඩු තොගය සමඟ මෙම ස්ථානයේ ජීවත්වූ මවත් පුතාත් දෙදෙනාවම පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ මෙම ජාවාරම සිදුවූයේ ඔවුන්ගේද අනුදැනුම මත වූ බැවිනි.

මව හතළිස් දෙහැවිරිදිය. පුතා විසි දෙහැවිරිදිය. පුතා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙකි. මවට මේ නි‍ෙවස මත්කුඩු තිප්පොළක් බවට පත්කර ගැනීමට සිදුවන්නේ පුතාගේ මේ චර්යාව නිසා බව පැහැදිලිය. මේ සඳහා ඇයව පොලඹවා ඇතැයි කියැවෙන්නේ ඇගේ නැඟණිගේ සැමියාය. දැන් ඔහු සිටින්නේ පොලීසියෛන් කට්ටි පනිමිණි.

පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම නිවසේ තිබී හමුවෙන්නේ ඊට දින කිහිපයකට පෙර එහි රැගෙන පැමිණි මත්කුඩු කිලෝ සිය ගානකින් කොටසක් පමණි. ඉතිරි මත්කුඩු තොගය ඊට පෙර දිනවල එතැනට පැමිණි කිහිප දෙනකු රැගෙන ගොස් ඇත්තේ නැඟණියගේ සැමියාගේ මෙහෙයැවීමෙනි.

ඇඹිලිපිටියේ පැරණි බස්නැවතුම්පොළ පැත්තේ නිවසක ඊට මාස තුනකට පෙර නවාතැන් ගෙන සිටි මෙම මවත් පුතාත් මෙම නිවසට එන්නේද නැඟණියගේ සැමියාගේ මඟ පෙන්වීම අනුවය. ඒ කුලී පදනම මතය.

මෙම නි‍ෙවස මෙසේ මත්කුඩු සඟවා බෙදා හැරින තිප්පොළක් බවට පත්කරන්නේ ඩුබායි හි රැඳී සිටින මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ වුවමනාවටය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හඳුනාගෙන ඇති ආකාරයට ඔහු අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි.

හරක් කටා ඩුබායි පනින්නේ මාකදුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වීමත් සමඟිනි. දැන් ඔහු ඩුබායි හී රැදී සිටිමින් මුළු දකුණේම මත්කුඩු ජාලය සියතට ගනිමින් සිටින්නේ මධුෂ්ගේ ප්‍රතිවාදියා වූ කොස්ගොඩ සුජීටද අභියෝග කරමිනි.

සුජී සිටින්නේද ඩුබායි වලය.ඒ අඹුදරුවන් සමඟිනි. ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයක් පවා ඔහුට එරෙහිව නිකුත් කර ඇත්තේ දුටු තැන අල්ලන්නටය. දකුණේ මත්කුඩු ජාලය හරක් කටා අල්ලන්නට උත්සහ ගන්නේ ඔහුගේ බල ව්‍යාප්තිය සීමාවී ඇත්තේ වැලිගමින් උඩහට වන බැවිනි. ඉන් මෙපිට ඇල්පිටිය දක්වා ඇත්තේ කොස්ගොඩ සුජීගේ වැයිකියයි. ඊට අතපොවන්න හරක් කටා යන්නේ නැත. ඒ කොස්ගොඩ සුජීට හීන් බියක් දක්වන බැවිනි. පොලීසියේ මෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයන් සමඟ සුජීට ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. ගජ මිතුරු දේශපාලනඥයන්ද රාශියකි. ඒ නිසා කොස්ගොඩ සුජී හැම අතින්ම ශක්තිමත්ය. කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු, පොඩි ලැසී වැනි පාතාලයේ කුප්‍රකට චරිත රැසක් සිටින්නේ ද කොස්ගොඩ සුජී සමඟිනි. සුජීගේ බලය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල මත්කුඩු බෙදන්නේ මේ අයගේ අනුදැනුම මතය. පිටස්තර අයෙක් මේ වැයික්කියට අත දමන්නට ගියහොත් සිදුවන්නේ ඇඩ්‍රස් නැති මරණයකි. ඒ නිසා සුජීගේ වැයික්කියට අත පොවන්නට කිසිවකුත් හිතන්නේ වත් නැති තරම්ය.

කොස්ගොඩ සුජීලාට හරක් කටාලාට සහ මාකදුරේ මධුෂ්ලාට පෙර දකුණේ මත්කුඩු ජාලය මෙහෙයැවූ ප්‍රබල චාරිතයක් වන්නේ රත්ගම විදුරය. විදුර ඉන්නා තැනක් ගැන හැරිහැටි තොරතුරු නැතත් ඩුබායි හා ඉතාලියේ ඔහු ගැවසෙන බව කියති. ඒ අතර ඇතැම් තොරතුරු පාර්ශ්ව වලින් කියැවෙන්නේ ඔහු මෙරට රැඳී සිටින බවකි. ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇති කුප්‍රකට චරිතයක් වන විදුර අදටත් සිය මත්කුඩු ජාලය මෙහෙයවන්නේ මහා පරිමාණයෙනි. උතුරු – දකුණු සීමා ඔහුට නැත. රට වටේටම ඔහුගේ මත්කුඩු බෙදා හැරෙන බව කියති.

ගල්කිස්ස,රත්මලාන, මොරටුව පැත්තේ කුඩු අධිරාජ්‍ය දැන් මුළුමනින්ම ඇත්තේ ගොනාකෝවිලේ අංජු අතේය. ඔහුට ඒ පැත්තේ බලය මුළුමනින්ම හිමිවන්නේ සිය ප්‍රතිවාදියා වූ ගොනා කෝවිලේ රොහා පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්වීමත් සමඟිනි. අංජුට පෙර රත්මලානේ කුඩු බලය පැවතියේ ඔහුගේ සහෝදරයා ගොනා කෝවිලේ ලන්සියා අතේය. කඩවත පිහිටි මහර අධිකරණය ඉදිරිපිටදී රොහාගේ වෙඩි පහරකින් ලන්සියා ඝාතනය වීමත් සමඟ කුඩු අංජු සිය සහෝදරයාගේ තැන ගත්තේය. ඒ මලයාසියාවට පලා ගොස් එහි සිට සිය සහෝදරයාගේ ගෝලබාලයින්ට නායකත්වය දෙමිනි. එසේ ඔහුට රටින් පනින්න සිදුවන්නේ රොහාගේ ඉලක්කයක් බවට අංජුද පත්වීම නිසාය.

අංජු වැඩි කාලයක් මලයාසියාවේ රැදී සිටියේ නැත. ඩුබායි වෙත පැන්නේය. සිය බිරියවද එහි ගෙන්වා ගත්තේය. දැන් ඔහු සිය අඹු දරුවන් සමඟ ජීවත්වන්නේ ප්‍රංශයේය. ඒ ඉතාලියට ආසන්නව ඇති අප්‍රකට ගම්මානයකය.

එහි සිටියත් අංජුගේ මත් කුඩු ජාවාරමට නම් නැවතීමේ තිත තැබී නැත. ඩුබායි හී රැදී සිටින ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ඇල්ටෝ ධර්මේ මඟින් සියල්ල මෙහෙයවති. ධර්මේ ඩුබායි පනින්නේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාව මරා දමමිනි.

අංජුගේ මත්කුඩු ජාලයේ කොටසක හිඩැස පුරවන්නේ ශිරාන් බායිය . ඒ බඩෝවිට පැත්තේය. ශිරාන් බායි සිටින්නේද ඩුබායි හීය. මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ඔහු දෙහිවල පැත්තේද බලය අල්ලාගෙන සිටින්නේ ඩුබායි හී සිට ලබාදෙන දුරකතන ඇමතුම් ඔස්සේය. කළුබෝවිල සහ නුගේගොඩ පැත්තටද දැන් ඔහුගේ බලය ක්‍රමයෙන් ඇත්තේ ව්‍යාප්ත වෙමිනි.

කිඹුලා ඇල ගුණා ද මෙරට මත්කුඩු ජාලයේ කුප්‍රකට චරිතයකි. යුද්ධය පැවති සමයේදී ඔහුට මත්කුඩු ආවේ එල්.ටී.ටී.ඊ.ය හරහාය. ආයුධ පවා ඔහුට අඩුවක් නොවීය. එකල ඔහු සතුව ස්නයිෆර් වර්ගයේ අවිද තිබුණේය. මෝදර පිහිටි කිඹුලා ඇළ ප්‍රදේශය සිය රාජධානියකරගෙන වැඡබුණු ඔහු ද අද සිටින්නේ රටින් බැහැරවය. ඒ ඉන්දියාවේය. මෙරටින් ඉන්දියාවට පලායන පාතාලයේ අපරාධකරුවන්ට රැකවරණය ලැබෙන්නේද ඔහුගෙනි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පුරහල් භුමියේදී පත්තු වූ මරාගෙන මැරෙන බෝම්බයේ කොනකද ගුණාගේ නම ගෑවී තිබුණේය. ගුණා හිතක් පපුවක් නොමැති ඝාතකයෙකි. දෙමටගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිය ඝාතනයට නම නියැවෙන්නේද ගුණාගේය. ගුණාගේ තර්ජනයන්ට ලක්වූවන් අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ද සිටියේය. ඒ වදකාගාර, පාතාල උසාවි සහ පාතලයේ පොලීසි පවත්වාගෙන යමින් වැජඹුණු ගුණාගේ රාජධානිය බිඳ දැමීමට මුල් වූයේ ඔහු වූ බැවිනි.

කොටගාමිණි, සුරේෂ් වැනි ඔහුගේ සමීපතම ගෝලබාලයන්ද දැන් ඉන්නේ ඉන්දියාවේය. සුරේෂ් යනු ඔහුගේ සහෝදරයාය. ඔහු හැරුණු කොට දැන් ගුණා සමඟ වැඩි දෙනෙක් ඉන්නේ තමිල්නාඩු හිරේය. ඒ මත්කුඩු ජාවවාරමට හසුවීය. හැබැයි හිරේ හිටියත් ඔවුන්ගේ ජංගම දුරකතන හොඳටෝම වැඩය. එබැවින් ඔහුගේ මත්කුඩු ජාලය තවමත් ක්‍රියාත්මකය.

මෝදර, මට්ටක්කුලිය, වත්තල, ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ පැත්තේ වැඩි හරියක් බෙදෙන්නේ ගුණාගේ බඩුය. පූකුඩිකන්නා, බුම්මා සහ වැල්ලේ සුරංග සිටින්නේ ද සිටින්නේ ගුණා සමගිනි. ඔවුන් එකම ජාලයකි. මේ ජාලයට එක්වූ අලුත්ම සාමාජිකයා වූයේ අතුරුගිරියේ ලඩියාය. ඔහුත් සිටින්නේ ඉන්දියාවේය. ලඩියා ඉන්දියාවට පනින්නේ අංගොඩ ලොක්කා සමඟිනි. ඒ කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු 07 දෙනෙක් මරා දමාය. අංගොඩ ලොක්කාගේ මරණින් පසු ලඩියාට යන එන මං නොමැති වූ තැන නතර වන්නේ ගුණාගේ දෙපතුල ළඟය. ඒ නිසාම ගුණාගේ බඩු දැන් ලඩියා හරහා අතුරුගිරිය සහ හංවැල්ල පැත්තේද බෙදෙන්නේ ඉන්දියාවේ සිටය.

කෙසෙල්වත්තේ රජකළ දිනුක ඩුබායි හීදී මරුමුවට පත්වීමෙන් පසු දිනුකගේ මත්කුඩු ජාලය දැන් මෙහෙයවන්නේ ඔහුගේ සමීපතම ගෝලයා වූ ධනුකය. ඒ ඉන්දියාවේ සිටය. ඊට ඔහුට හයියක් වී ඇත්තේද ගුණාය.

ජා-ඇල සහ මීගමුව පැත්තේ මත්කුඩු ජාලය ව්‍යාප්තව ඇත්තේ ජූඩ් ප්‍රියන්ත සහ ගිහාන් ෆොන්සේකාගේ මෙහෙයැවීමෙනි. මේ දෙනොම සිටින්නේද ඩුබායි වලය. 2020 දෙසැම්ඉර් 06 වෙනිදා සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉරණවිලදී අල්ලාගත් මුහුදෙන් ආ මත්කුඩු කිලෝ 200 සමඟ කියැවුනේ ජූඩ් ප්‍රියන්තගේ නමය.

ජා-ඇල සහ මීගමුව පැත්තට ඔහුගේ මත්කුඩු ජාලය සීමා වූවත් ඔහුට ඉහළින් කොළඹටම මත්කුඩු බෙදන ජාලය මෙහෙය වන ලොකුම ලොක්කෙක් සිටිති. ඒ ලොක්කා දැන් සිටින්නේ එංගලන්තයේය. දේශපාලනික වශයෙන්ද ශක්තිමත් පුද්ගලයෙක් වන ඔහු මෙරට මත්කුඩු ජාලයේ නිල නොලත් ගෝඩ් ෆාදර් ය. මේ දිනවල මත්කුඩු ජාවාරම්කරුවන් සියලු දෙනාම සිය සතුරා විනාශ කිරීම වෙනුවෙන් එකට එකතුකර ඇත්තේ ද ඔහුය. බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රීතව වෙඩි පිට වෙඩි පත්තුවෙමින් ඇත්තේ එම එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙසිණි.

එංගලන්තයේ සිටින මෙම ජාවාරම්කරු මෙරට මත්කුඩු ජාලයේ ආරම්භක සාමාජිකයෙකි. එහෙත් ඔහුට එරෙහිව ශ්‍රී ලංකා පොලීසියේ කිසිදු තැනක මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනාවක් සටහන් වී ඇති තැනක් සොයා ගන්නට නැති තරම්ය. ඒ ඔහුගේ මත්කුඩු ජාවාරම මුළුමනින්ම මෙහෙයවන්නේ රූබන් නිසාය. ප්‍රංශයේ රැඳී සිටින බැවින් ඔහු ක්‍රප්‍රකටව සිටින්නේ ප්‍රංශ රූබන් යැයි කියාය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයෙක් වන රූබන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හඳුනාගෙන සිටින්නේ මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රබල චරිතයක් ලෙසිණි.

මෙම කණ්ඩායමේ සිටින තවත් ආරම්භක ප්‍රබල පුරුකක් වන්නේ කිරුලපනේ මොරිල්ය. ඔහු කුප්‍රකටව සිටින්නේ අන්නාසි මොරිල් යැයි කියාය. මොරිල්ගේ මත්කුඩු අධිරාජ්‍ය පැවතියේ කිරුලපන ආශ්‍රිතවය. දැන් ඔහු මුළු රටටම මත්කුඩු බෙදන දැවැන්තයෙකි. කාලයක් තිස්සේම මොරිල් සිටින්නේ ඩුබායි හිය. එහෙත් ඉද හිට ඔහු ඉතාලියේද ගත කරයි. යුරෝපාකරය ඔහුට දැන් සිය නිවහන බඳුය.

මොරිල්ගේ මුළු පවුලම සිටින්නේ ඔහු සමඟිනි. මෑතකදී ඔහුගේ දියණියගේ විවාහය ඩුබායිහි තරු පන්තියේ හෝටලයකදී ගන්නේ ලංකාවේ පිරිසකටද ආරාධනා කරමිනි. ඒ මාකදුරේ මධුෂ් සිය දියණියගේ උපන්දින සාදය ගත් අයුරිනි. එදා මාකදුරේ මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දෙන්නේද මොරිල්ය.

මධුෂ්ගෙන් පසු ඒ හිඩැස පුරවන්නට දැන් ඉදිරිපත්වී සිටින චරිතය බවට පත්ව සිටින්නේ මාකිලන්ගමුවේ සංජීවයි. ඔහුද දැන් සිටින්නේ රටින් බැහැරවය. වරෙක ඔහු ඩුබායි සිටින බව කියැවෙති. තවත් වරෙක ඔහු ඉන්දියාවේ සිටින බව සඳහන්ය. ඒ අතර ඔහු නේපාලයේ ඉන්නා බවටත් කියයි.

මේ කුමන රටක සිටියත් මාකිලන්ගමුවේ සංජීව ද මත්කුඩු ජාලයේ සිටින ඉහළම චරිතයකි. පිරිස් බලයෙන් මෙන්ම සන්නද්ධ බලය දැන් වැඩි හරියක්ම ඇත්තේ සංජීව සතුවය. ඔහුට හයියක් වී සිටින්නේ ඩුබායි හි රැඳී සිටින චාමර සහ ඉන්දියාවේ රැඳී සිටින බව කියැවෙන වැල්ලේ සාරංගය.

මේ දවස්වල මාකිලංගමුවේ සංජීවගේ නම නිතරම කියැවෙන්නේ තැන තැන සිදුවන ඝාතන රැසකට වගකිය යුත්තා ඔහු වන බැවිනි. නිමාවක් තවමත් නොදකින එම ඝාතන රැල්ලේ ආරම්භය සටහන් වන්නේ ඉකුත් මැයි 08 වෙනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් කළ ඒකාබද්ධ වැටලීමකින මාකිලංගමුවේ සංජීවට අයත් මත්කුඩු කිලෝ 240ක් අල්ලා ගැනීමත් සමඟිනි. එම වැටලීම සිදුවන්නේ මහා මුහුද මැදය. අල්ලාගන්නේ ඉරාන් ජාතිකයන් 07 දෙනෙක් රැගත් බහුදින යාත්‍රාවකි. එම යාත්‍රාව අල්ලන්නේ ඔත්තුවකට අනුවය. දකුණු මුහුදු තීරයෙන් ගොඩ බාන්නට තිබුණු එම මත්කුඩු තොගය නාවික හමුදාව අල්ලා ගැනීම හා තැන තැන සිදුවන වෙඩි තැබීම් අතර ඇති සම්බන්ධය ගැන දන්නේ ඒ ගැන දන්නෝ පමණි.

මුල් කාලයේදී මෙරටට මත්කුඩු මෙතරම් තොග පිටින් ආවේ නැත. වැඩි හරියක් මත්කුඩු රැගෙන ආවේ ඉන්දියාව හරහාය. මත්කුඩු පැටවූ බෝට්ටුවක් ආවත් එන්නේ ඉන්දියාවෙනි. ඒ ඉන්දියානු ජාවාරම්කරුවන් ඇෆ්ගනිස්ථානයෙන් ලබාගන්නා හෙරොයින් තොග ගොඩබිම් දේශසීමා ඔස්සේ ඉන්දියාවේ තූත්තුකුඩියට රැගෙන එමිනි. එදා කිලෝ 30-40කට වඩා එකවර මත්කුඩු ගෙන ආවේත් නැත. හසුවූයේත් නැත. එම මත්කුඩු ගොඩබාන ප්‍රධාන තොටුපොළ බවට පත්ව තිබුණේ හලාවත තොඩුවාවයි.

ඉන්දියාවේ තූත්තුකුඩියෙන් මෙරට මත්කුඩු රැගෙන එන ගමන් මඟ වෙනස් වන්නේ සිද්ධික්, මුජහිඩ් , වෙලේ සුදා වැනි මත්කුඩු ජාවාරම්කරුවන් නිසාය. පකිස්තානය හරහා කෙලින්ම මත්කුඩු මෙරටට රැගෙන එන මාර්ගය සොයා ගත්තේ ඔවුන්ය. ඒ අතර ඉහළින්ම නම කියැවෙන්නෙක් වන්නේ සිද්ධික්ගේය.

සිද්ධික්ට පකිස්තානයේ ඉහළ පෙ‍ෙළ් මත්කුඩු ජාවාරම්කරුවන් සඟෙ ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධකම්ය. පකිස්තානයේ ඔහුට බිරියක්ද සිටින බව කියවෙයි. ඒ පකිස්තානයේ ප්‍රබලම මත්කුඩු ජාවාරම්කරුගේ නැඟණියයි. එම සම්බන්ධකම් මත ඔහු පකිස්තානයේ සිට මෙරටට මුලින්ම මත්කුඩු රැගෙන එන්නේ ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ සහ විවිධ උපකරණ තුළ සඟවාගෙනය. පසු කාලයේ ඔහුට වෙලේ සුදාද සම්බන්ධ වීමත් සමඟ බෝට්ටුවලින් මත්කුඩු රැගෙන එන්නට ගන්නේ කිලෝ දෙතුන් සීයේ තොග වශයෙනි.

විශාල වශයෙන් මෙරටට මත්කුඩු රැගෙන එමින් වෙලේ සුදා සහ සිද්ධික් කුඩු රජවරු බවට පත්වන විට සෙසු ජාවාරම්කරුවන්ද පකිස්තානුවන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ මිත්‍රකම් ගොඩනගා ගෙනය.

පකිස්තානු ජාවාරම්කරුවන් දැන් මෙරටට වැඩි පුරම මත්කුඩු එවන්නේ බහුදින යාත්‍රාවල දමාය. වැඩි ප්‍රමාණයක් මත්කුඩු මිලදී ගැනීමට පොලඹවන්නේ කිලෝ 100කට වඩා කෙරන මිලදී ගැනීම්වලදී ගිනි අවියක් දෙකක් බෝනස් ලෙස ලබාදෙමිනි.

එම ගිනි අවි සමඟ මත්කුඩු තොග ප්‍රවාහන කටයුත්ත භාර කෙරුණේ ඉරාන් ජාතික ජාවාරම්කරුවන් දෙදෙනකුටය. ඒ අය ඉරානයේ konarak ධිවර වරායේ රැදී සිටින බලවතුන්ය. ඉරානයේ konarak ධීවර වරායෙන් එන බෝට්ටුවලට මත්කුඩු පැටවෙන්නේ පකිස්තානු සහ ඉරාන් සීමාවේ පිහිටි jiwanibay ආශ්‍රිත වෙරළ තීරයේදීය.

මත්කුඩු පැටවූ එම යාත්‍රා ගමන් ගන්නේ ජාත්‍යන්තර මුහුදු තීරයේ මාලදිවයිනට කිට්ටු සීමාවෙනි. අපේ රටේ ජාවාරම්කරුවන් එම මත්කුඩු තොග භාරගන්නේ මාලදිවයින සීමාවට ගොසිනි. හලාවතින්, මීගමුවෙන්, කුඩා වැල්ලෙන්, හික්කඩුවෙන්, බේරුවලින් යන බහුදින යාත්‍රා එම මත්කුඩු තොග පටවාගෙන එන්නේද එම වෙරළ තීරවලටමය.

ඇඹිලිපිටියෙන් හමුවන්නේද එසේ මෙරටට රැගෙන පැමිණි මත්කුඩු තොගයකි. මාලදිවයින් සීමාවට ගොස් එම මත්කුඩු තොගය හරක් කටාගේ ගෝල බාලයින් විසින් බාරගෙන ඇතැයි විශ්වාස කරනුයේ කුඩා වැල්ල ධිවර වරායෙන් ගිය බහුදින යාත්‍රාවකිනි. හොරොයින් තොගය ගොඩබිමට රැගෙනවිත් ඇත්තේද දකුණු මුහුදු තීරයෙනි. ඇඹිලිපිටියේ සැඟවෙන්නේ ඒ රැගෙන පැමිණි තොගයෙන් කොටසකි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58

?